රනිල් නායකකම රැකගන්න කරු බිල්ලට දීමට යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය කරු ජයසූරිය මහතාට පවරා ඇඟ බේරා ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග මගින් දැන ගැනීමට තිබේ.

මේ සඳහා රනිල් වාදීන්ගේ කැමැත්තත් කැරැළිකාර කණ්ඩායමේ කැමැත්තත් ලබා ගැනීමට පහසු වනු ඇතැයි වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ඔහුට පෙන්වා දී ඇත.

නියත වශයෙන් එජාපය ජනාධිපතිවරණය පරාජය වන නිසා වික්‍රමසිංහ මහතාට තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමේ අවස්ථාව උදාවන බව සමීපතමයන් වික්‍රමසිංහ මහතාට උපදෙස් දී ඇති බවද දැන ගැනීමට තිබේ.

එහිදී තමා තවමත් පිරිහී නැති බවට තර්ක කර ඇති වික්‍රමසිංහ මහතා අවසානයේ සමීපතම උපදේශකයන්ගේ බහට එකඟ වී ඇති බවද දැන ගැනීමට ඇත.

එස්. බී. දිසානායක මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ යැයි කරන ප්‍රචාරයද රනිල් හිතවාදීන්ගේ තවත් උපායක් බවද දැන ගැනීමට තිබේ.

කරු ජයසූරිය මහතා අපේක්ෂකත්වය බාරගත හොත් එස්. බී. ලවා කරුගේ කකුළෙන් ඇද කරු දේශපාලන සරණාගතයකු කිරීමේ සැලැස්මක්ද මේ සමඟ ක්‍රියාත්මක කරන ලෙස වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවට කරුණු අනාවරණය වේ.

කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ එජාප පාක්ෂිකයන්ට ගැටලුවක් වී තිබේ.