විශිෂ්ට තත්ත්වයේ සහල් නිෂ්පාදන පාඨමා‍ලාව හෙට ඇරඹේ

දිවයින පුරා සහල් සකස් කිරී‍ෙම් නියැලී සිටින්නන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ට තත්ත්වයේ සහල් නිෂ්පාදනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හෙට (24) ඇරඹේ.
අනුරාධපුර පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන මෙම කෙටිකාලීන පුහුණු පාඨමා‍ලාව අගෝස්තු 28 දක්වා පැවැත්වේ.

සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන්ගේ සහ නවකයන්ගේ ආත්මවිශ්වාසය තහවුරු කරමින් ක්‍රියාත්මක කෙරෙන මෙම පාඨමාලාව මගින් සහල් නිෂ්පාදනය පිළිබඳ අංගසම්පූර්ණ දැනුමක් ලබාදීමට අපේක්ෂිතය.

සහල් සැකසීම සඳහා වී තෝරාගැනීම, වී/ සහල් ප්‍රමිතිකරණය, වැඩිදියුණු කළ තාක්ෂණ ක්‍රම අනුව වී/සහල් පිරිසිදු කිරීම සහ වියළීම, වී/ සහල් ගබඩා කිරීමේ මූලධර්ම හා ක්‍රම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරේ.

එසේම වාණිජ මට්ටමේ වී තැම්බීමේ ක්‍රම, සහල් සකස් කිරීමේ මූලධර්ම හා ක්‍රම, කලර් සෝටර් යන්ත්‍රය මගින් සහල්වල දුර්වර්ණ ඇට ඉවත් කිරීම, සහල් නිෂ්පාදනයේ අතුරු ඵල ප්‍රයෝජනයට ගැනීම, නව සහල් මෝලක් ස්ථාපිත කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිළිබඳව මෙන්ම සහල් මෝලක යන්ත්‍ර හා විදුලි නඩත්තු කටයුතු, සහල් මෝල්වල ඵලදායීතාව වැඩි කරන අන්දම, සහල් කර්මාන්තයේදී සිදුවන පාරිසරික ගැටළු වළකා ගැනීම, සහල් මෝලක මුල්‍ය කළමනාකරණය හා කර්මාන්තයේ දියුණුව සලසන පැහැදිලි මාර්ගෝපදේශනය යනාදී සියලු ක්ෂේත්‍ර මෙම පාඨමාලාවෙහි අන්තර්ගත වේ.