ආරක්‍ෂක ලේකම් ඝාතනයට සඟවා තිබූ අවි රැසක් මට්ටක්කුලියෙන් සොයා ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැස් කරන ලද කිලෝ ග්‍රෑම් 5ක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු නවීන අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය තොගයක් මෝදර මට්ටක්කුලියෙන් සොයා ගනී.

ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක අභිරහස් ලෙස යකඩ කැබිනෙට්ටුවක් තුළ සඟවා තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ අවි සොයා ගෙන තිබේ.

මාස කිහිපයක් තිස්සේ සිදු කරන ලද බුද්ධි විමර්ශනයක ප්‍රථිපලයක් වශයෙන් සොයාගත් මේ ආයුධ ගබඩාව කොළඹ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල නායකයකු විසින් රැස්කරන ලද ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ඊයේ (24) “දිනමිණ’ට කීය.

රාජපක්‍ෂ මහතා ගමන් ගන්නා ප්‍රභූ රථ පෙළට ප්‍රහාරය එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය සහිත යතුරුපැදියක් භාවිත කිරීමටත් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ප්‍රහාරයට ලක්වන ප්‍රභූවරයා අනතුරකට පත් නොවුවහොත් ඔහු රෝහලට රැගෙන යන වාහනයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකාරියක ස්ථාන ගත කර මේ ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් සකස් කර තිබූ බව අනාවරණය කරගෙන තිබේ.

සොයාගත් අවි ආයුධ අතර නවීන පන්නයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ද එම අවියට අදාළ උණ්ඩ 135ක් ද පතොරම් ගැබ් 2ක් ද අත්බෝම්බ 05ක් ද සයනයිඩ් කරල් 13ක් ද ඇඳුමට සවිකළ හැකි බැටරි 05ක් ද දුරස්ථ පාලක කට්ටල 01ක් ද ජංගම දුරස්ථ පාලක උපකරණ දෙකක්ද සේවා නූල් අඩි 50ක් ද ඩෙටනේටර් එකක් ද තිබී ඇත. සොයාගත් ගිනි අවිය නවීන මිනි ඌෂි වර්ගයේ ගිනි අවියක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා තවදුරටත් කීය.

මේ ප්‍රහාරය සඳහා සැළසුම් කර ඇති යතුරුපැදිය හා මරාගෙන මැරෙන සාමාජිකයින් සොයා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව මැදිවක මහතා කීය. මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකරන අතර දී අත්බෝම්බ හා ගිනි අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ද තිබූ බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

මේ අවි ගබඩාව පැවැති නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන පරීක්‍ෂණ කණ්ඩායම මෙම අවි කුමන දිනයකදී මෙහි රැගෙන ආවාද යන්න සොයා බැලීමට පියවර ගෙන තිබේ.