බර අඩු කරන සැත්කමේදී දුව මිය ගියේ දොස්තරගේ වරදින් පියා පරීක්ෂණයක් ඉල්ලයි

සිරුරේ තරබාරුකම අඩුකරගැනීමට ශල්‍යකර්මයක් සිදුකරගත් 28 හැවිරිදි තරුණියක් සැත්කමෙන් පසු මියගොස් තිබේ.

රත්නපුර සමගිපුර පදිංචි ශාරිකා වීරරත්න ගුණසේකර නමැති මෙම තරුණිය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී මෙලෙස මියගිය බව ඇයගේ පියා කීය. වෛද්‍ය වරයාගේ නොසැලිකිලිමත් බව නිසා තම දියණියගේ ජීවිතය අහිමිවීම ගැන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මියගිය තරුණියගේ පියා වන එස්. ඩබ්. ගුණසේකර මහතා සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියගේ මරණය ගැන ඔහු මෙසේ කීවේය. 2008 වසරේදී මගේ දියණිය පෞද්ගලික රෝහලකදී ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී ඇයගේ තරබාරුකමට ප්‍රතිකාර ලබා ගත්තා.

ඇයගේ සිරුරේ බර අඩුවුණේ නැහැ. පසුව එම වෛද්‍යවරයා තීරණය කළා දුවට ශල්‍යකර්මයක් කිරීමට. 2008 දෙසැම්බර් මස 2 වන දා කළුබෝවිල රෝහලේ වෛද්‍ය සායනයට ඇය සහභාගි වුණා.

2009 අගෝස්තු 10 වැනිදා ශල්‍යකර්මය කිරීමට වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළා. 14 වැනිදා ශල්‍යකර්මය සිදුකළා. ශල්‍යකර්මයට අවශ්‍ය ගාස්තු වෙනුවෙන් වෛද්‍යවරයා රුපියල් 33,000ක් ලබා ගත්තා. සැත්කමෙන් පසු ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළුකලා. ඉන්පසුව දුව මියගියා. මගේ එකම දරුවා මට අහිමි වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන්.

මෙම ශල්‍යකර්මය රූපවාහිනී නාලිකාවකින් රූගත කර තිබෙනවා. වෛද්‍යවරයාගේ පරමාර්ථය වුණේ වාණිජමය වාසි ලබා ගැනීමටයි. දුවගේ මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.