මහා පරිමාණ තලෙයිබාන් ප්‍රහාර නෑ: අඩු ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයක්: ඇෆ්ගන් ජනපතිවරණය නිමවෙයි

අඩු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම, තලෙයිබාන් ප්‍රචණ්ඩත්වය සහ දූෂණ චෝදනා මධ්‍යයේ පෙරේදා (20 වෙනිදා) ඇෆ්ගනිස්තානයේ පැවති ජනාධිපතිවරණය නිම විය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ප්‍රජාව පවසන්නේ මැතිවරණය සාර්ථක වූ බවයි.

තලෙයිබාන් තර්ජන නොතකා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ඡන්දදායකයන් ජනාධිපති කර්සායගේ පැසසුමට ලක්විය. ඡන්දය පැවති ඊයේ දිනය එරටට “ආඩම්බර විය හැකි මෙන්ම සෞභාග්‍ය උදාකර දිය හැක දිනයක්” ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

මහා පරිමාණ දරුණු තලෙයිබාන් ප්‍රහාරයකින් තොරව මැතිවරණය පැවැත්වීම ජනාධිපති ඔබාමා ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්වී තිබේ.

තවදුරටත් භේද භින්නවීමෙන් තොරව සියලුම දේශපාලන නායකයන් රට ඉදිරියට ගෙන යනු ඇති බව ඇෆ්ගන් වැසියන්ගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද අපේක්ෂාව බව, ඇෆ්ගනිස්තානයේ සිටින ජගත් සංවිධාන නියෝජිතයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති වරණයේ මුල් වටයේ ප්‍රතිඵල සති අන්තයේදී නිකුත් වනු ඇතැයි අපේක්ෂිතය. එහෙත්, දෙවෙනි වරට ඡන්ද ගණන් කිරීමට සිදුවුවහොත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට සති හයක් ගතවනු ඇත.

මිලියන 17 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණද, ප්‍රකාශිත ඡන්ද 50% කටත් අඩු බව විචාරකයෝ පවසති. 2004 ජනාධිපතිවරණයේදී 70% ක් ඡන්දය ප්‍රකාශ කරන තිබිණි.

තලෙයිබාන් බලකොටු වන කන්දතා ඇතුලු දකුණුදිග ප්‍රාන්තවල ඡන්දය ප්‍රකාශකර තිබූ සංඛ්‍යාව 10% කටත් වඩා අඩු බව වාර්තාවේ.

උතුරුදිග බග්ලාන් නගරයේ ඇති වූ ගැටුමකින් සටන්කාමීන් 30ක් සහ කාබුල්හි වෙඩි තැබීමකින් තවත් සටන්කාමීන් දෙදෙනෙකු මියගොස් තිබේ. රටපුරා පැවති ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා සාමාන්‍ය වැසියන් 26 දෙනෙකු මියගොස් ඇත.