ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති යාපන‍‍යේ සංචාරයක


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ‍ජෙනරාල් සරත් ‍ෆොන්සේකා හා යුද හමුදාපති ලුතිතන් ‍ජෙනරාල් ජගත් ජයසූරිය ඇතුළු ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අද (15) යාපනය ප්‍ර‍දේශයේ සංචාරයක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

11 වන ශ්‍රී ලංකා සිංහ ‍රෙජිමේන්තුව විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සම්මාන මුරයක් සහ සම්මාන ‍පෙළපාළියක් පිරිනැමිණි.

ඉන් අනතුරු ව ආරක්ෂක ‍සේනා මූලස්ථාන‍යේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියළුම හමුදා ප්‍රධානීන් වෙත යාපන‍යේ ආරක්ෂක තත්ත්වය හා දැනට යුද හමුදාව යාපනයේ සංවර්ධන කටයුතු සඳහා කරන දායකත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරී‍‍මක් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීපීආර් ද සිල්වා විසින් සිදුකරන ලදි.



අනතුරුව 51, 52, 55 සේනාංක සහ 7 වන කා.සේ. මූලස්ථානවල ‍සේනාංකාධිපතිවරුන් සහ බලසේනාංකාධිපතිවරුන් සමඟ දැනට යාපනය ප්‍රදේශයේ උතුරු වසන්තය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු පිළිබඳ වත්, දැනට ‍මෙම ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ වත් ‍සොයා බැලීම ‍මෙම සංචාර‍යේ ප්‍රධාන අරමුණ වි ය.

‍මෙම විශේෂ සාකච්ඡාව සඳහා උතුරු නාවික ආඥාපති රියාර් අද්මිරාල් ‍ජේ. කොළඹගේ, පලාලි ගුවන් හමුදා කඳවු‍රේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එච්.එන්. අබේසිංහ සහ ජ්‍යෙෂ්ඨ ‍‍පොලිස් අධිකාරී කංකසන්තුරය එම්. පෙරේරා මහතා ඇතුළු යුද හමුදා ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වූහ.

පලාලිහි පිහිටි රණවිරු ස්මාරකය ‍අභියසදී මිය ගිය රණ විරුවන් ‍වෙනු‍වෙන් පුෂ්පෝපහාර දක්වන ලද අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එම තනතු‍රේ රාජකාරී බාරගැනී‍මෙන් අනතුරු ව යාපනය ප්‍රදේශයේ කරන ලද ප්‍රථම සංචාරය මෙය වන බැවින්, ඒ සබැඳි ව සමරු සටහන් ‍පොතේ අත්සන් තබන ලදි.