දුෂණ වංචා හෙළිකරන්න කිසිම බාධාවක් නෑ

ජනමාධ්‍ය හා තොරතුරු, ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා

මැතිවරණ, වත්මන් දේශපාලන තත්ත්වය හා පුවත්පත් මණ්ඩල පනත ගැන අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සමග ‘දිනමිණ’ පැවැත්වු සාකච්ඡාව පහත පළවේ.

විටින් විට මැතිවරණ පැවැත්වීම දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසුව අවසන් කර එකවර මැතිවරණ පැවැත්වීමට ක්‍රියාකරන බව රජය ප්‍රකාශ කරනවා. සියලු පළාත් සභා මැතිවරණ විටින් විට පවත්වා අවසන් වූ පසුව එකවර මැතිවරණ පැවැත්වීමට කතා කිරීම එක්තරා ආකාරයක විහිළුවක් බවයි විපක්‍ෂය ප්‍රකාශ කරන්නේ.

අපේ රටේ පළාත් සභා ස්ථාපිත වූ කාලෙ ඉඳලා කවදාවත් එකවර සියලුම පළාත් සභාවලට මැතිවරණ පැවැත්වූයේ නැහැ. සමහර අවස්ථාවලදී දෙක තුනක් එකට පළාත් සභා මැතිවරණ පවත්වපු අවස්ථාත් තිබුණා. පළාත් සභා විසුරුවා හරින කාල වකවානුත් මීට බලපානවා. තමන්ට බහුතරයක් නැහැයි කියලා හිතුණොත් අදාළ මහ ඇමැතිවරයාට පළාත් සභාව විසුරුවා හරින්න පුළුවන්.

ඊට අමතරව අපේ රටේ අතුරු මැතිවරණ පැවැත්වූවා. ඒවත් බොහෝ විට සිදුකෙරුණේ වෙන වෙනමයි. ඒක නිසා එකට තිබ්බා වෙනම තිබ්බා කියලා මහජනතාවගේ මනාපයේ වෙනසක් සිදුවෙන්නේ නැහැ. මේ මෝඩ තර්ක නිසා එක්සත් ජාතික පක්‍ෂයේ සම්ප්‍රදායික බල කඳවුරුත් දෙදරලා කඩාවැටිලා. ඒක නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ඔය තර්ක යථාර්ථවාදී තාර්කික ඒවා කියලා මං පිළිගන්නේ නැහැ.

නියමිත කාලයේ වඩා මැතිවරණ නොපවත්වා කල්දැමීම වාගේම නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම නීති විරෝධී බවට යමෙකු තර්ක කළොත්...?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කිසිම මැතිවරණයක් නීති විරෝධී වන්නේ නැහැ. එහෙම නීති විරෝධී වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මැතිවරණ පැවැත්වුවොත් පමණයි. ජනාධිපතිවරයෙකුට තම කාලයෙන් වසර 4 ක් ගතවූ පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බව ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවේ පවතිනවා.

පාර්ලිමේන්තුව පත් වී වසරකට පසුව එය විසුරුවා හැරීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතුයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටවල නෛතික තත්ත්වයන් මේවා නීති විරෝධී කියන්නේ කුමන පදනමකින් ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මං නම් කියන්නේ විරුද්ධ පක්‍ෂය කැමැති විය යුතුයි මැතිවරණ එනවට.

පුවත්පත් මණ්ඩල පනත යළි බලාත්මක කිරීම මගින් ආණ්ඩුව සූදානම් වන්නේ පොදුවේ පුවත්පත් මර්දනය කර මාධ්‍ය නිදහසට බාධා එල්ල කිරීම බවට විරුද්ධ පක්‍ෂය චෝදනා නඟනවා.

මේක ඉතාමත් බොළඳ තර්කයක්. අපේ රටේ පුවත්පත් මණ්ඩලය කවදාවත් අහෝසි කරල තිබුණේ් නැහැ. පුවත්පත් මණ්ඩලයට අවශ්‍ය කරන සාමාජිකයන් පත්නොකිරීම පමණයි කරලා තිබුණේ. නමුත් පුවත්පත් මණ්ඩලයට අවශ්‍ය අනෙකුත් සියලුම දේවල් තිබුණා.

පුවත්පත් මණ්ඩල පනතේ විශේෂත්වය වන්නේ යම් පුවත්පතකින් යම් කෙනෙකුට හෝ ආයතනයකට අපහාසයක් සිදුවුවහොත් ඒ ගැන පැමිණිලි කිරීමට මේ පනත හරහා පුළුවන් වෙනවා. ඒක සාධාරණ දෙයක්. ඕනෑම කෙනෙකුට අපහාසයක් සිදුවෙනවා නම් ඒ පැත්තටත් ඇහුම්කන් දීම උසස් මාධ්‍ය කලාවක වගකීමක්.

පුවත්පත් පැමිණිලි කොමිසමෙනුත් මේ දේ සිදුවෙනවා නේද?

කොමිසමෙන් සිදුවුණේ ඊට ඇතුළත් වන පුවත්පත්වලට පමණක් මේ සඳහා යම් මැදිහත් වීමක් ලබාදීම පමණයි. නමුත් ඕනෑම අපහාසයක් කරලා ඊට ඇහුම්කන් නොදී කටයුතු කිරීමට එමඟින් බොහෝ පුවත්පත්වලට ඉඩ ලැබුණා.

පුවත්පත් පැමිණිලි කොමිසමට ඇතුළත් නොවන පුවත්පත්වලට ඕනෑම අපහාසයක් කිරීමේ අසීමිත නිදහසක් තිබුණා. ඒක හරියට හිල් තියෙන දැල් වාගෙයි. නමුත් පුවත්පත් මණ්ඩල දැලෙන් කාටවත් අපහාස කරලා රිංගලා යන්න බැහැ. ඒක නිසා පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමට සියලු පුවත්පත් බැඳී සිටිනවා. ඒ සඳහා නීතිමය තත්ත්වයක් තිබෙනවා.

මේ මගින් වැඩිපුරම කරලා තියෙන්නේ සමථයකට පත්කිරීම් පමණයි. යම් අපහාසයක් සිදුකළොත් එය නිවැරදි කර පළකිරීමක් වැනි දෙයක් පමණයි. නැතුව ඔය විපක්‍ෂය මහ ලොකුවට කෑගහනවා වාගේ කිසිම මාධ්‍ය මර්දනයක් සිදුකෙරෙන්නේ නැහැ.

පුවත්පත් මණ්ඩල පනත යළි බලාත්මක කිරීමට බලපෑ ආසන්නම හේතු මොනවාද?

පුවත්පත් පැමිණිලි කොමිසමට අයත් නොවන පුවත්පත් ගණනාවක්ම තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අපහාසයක් සිදුකරලා ඇතැම් පුවත්පත් කිසිම ගානක් නැතුව ඉන්නවා. මෙහෙම ගියොත් මේ අපහාසවල කෙළවර කුමක්ද? පුවත්පතකට නිදහසක් තිබෙනවා වාගේම ඉන් අසාධාරණයකට ලක්වෙන කෙනෙකුටත් නිදහසක් තියෙන්න ඕන, ඒ සඳහා පිළිතුරු ලබාදීමට. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලබා දෙන කොට ඒවා සීමා පනවන ආයතන වශයෙන් හැඳින්වීම වැරදියි.

ඇතැම් පුවත්පත්වල ඇතැම් වාර්තා කිරීම් හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් වූ විශාල පිරිසක් අපෙන් ඉල්ලීමක් කළා, මේ සඳහා යම් මැදිහත්වීමක් සිදුකරන ලෙසට. එම ඉල්ලීම් තමයි පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කිරීම සඳහා ආසන්නතම සිදුවීම. තේ කෝප්පෙත් කුණාටු දකින අපේ විපක්‍ෂයේ ඇතැම් මහත්වරුන්ට නම් මේක විශාල ප්‍රශ්නයක් කරගන්න හදන්නේ දේශපාලන වාසි ලබාගැනීමටයි. තමන්ගේ අයිතිය ගැන කතා කරන හැමෝම හිතන්න ඕන අනුන්ටත් ඒවගේම අයිතියක් තියෙනවා කියලා.

සාමාජිකයන් පත් නොකිරීම නිසා පුවත්පත් මණ්ඩලය 2002 වසරේ සිට අක්‍රීයවයි පැවතුණේ. 2002 වසරේ සිට මේ ගැන කිසිම කතාවක් නොකළ ආණ්ඩුව දැන් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ මාධ්‍ය මර්දනයට යම් ආකාරයකින් පිවිසීමට ද යන සැකය මතුවෙනවා නේද?

මං කලින් කිව්ව වගේ ඔය සැකය මතුකරන්නේ විපක්‍ෂය දේශපාලන වාසි ලබාගැනීම සඳහායි. මේ සඳහා මං අමාත්‍ය මණ්ඩලයට මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ මීට වසර කිහිපයකට පෙරයි. මේ ගැන ඉන් පසුව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

පාර්ලිමේන්තුවේත් ඒ වගේම කෝප් කමිටුවේත් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. පුවත්පත් කලාවට සම්බන්ධ විද්වතුන් රැසක් සමග සාකච්ඡා කළා. මණ්ඩලය සඳහා හොඳ විද්වත් මණ්ඩලයක් පත් කළෙත් ඒ නිසයි. ඔබ ඇහුවා, මේ සඳහා ආසන්නම හේතුව කුමක්ද? කියල මං කලින් කිව්ව වගේ දිගින් දිගටම ඇතැම් පුවත්පත් නිර්දය ලෙස අපහාස කිරීම් සිදුකරන බවට බොහෝ පැමිණිලි ලිඛිතවත්, වාචිකවත් ලැබෙන්න පටන් ගත්තා.

පුවත්පත් පැමිණිලි කොමිසම මඟහරිමින් පුවත්පත් කිහිපයක්ම කටයුතු කළ බව ඔබ ප්‍රකාශ කළා. ඒ දේම පුවත්පත් මණ්ඩලයටත් සිදුවේවිද?

නීත්‍යානුකූ®ලව සියලු පුවත්පත්, පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. මෙය නෛතික තත්ත්වයක් නිසා එය මඟහැර යන්න කිසිවෙකුටත් බැහැ. පුවත්පත් මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ කිසිම පුවත්පතකින් පළිගන්න නොවෙයි. විපක්‍ෂයේ ඇතැමුන් හා වෙනත් සංවිධාන දැඩි උත්සාහයක් ගන්නේ මෙය මර්දනකාරී වැඩක් යනුවෙන් පෙන්වීමට.

නමුත් එහෙම කිසිදු මර්දනකාරීත්වයක් මෙහි නැහැ කියලා මං කියන්නේ ඉතාම වගකීමකින්. පුවත්පත් නිදහසත්, ජනතා නිදහසත් ආරක්‍ෂා කිරීමේ නෛතික පදනමක් තමයි පුවත්පත් මණ්ඩල පනතට ඇතුළත් වෙලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් ජනමාධ්‍යවේදියෙකුට ලැබෙන තොරතුරු මූලාශ්‍ර රහසිගතව තබාගැනීම ජනමාධ්‍යවේදියා සතු අයිතිවාසිකමක්. පුවත්පත් මණ්ඩලයට හැකියාවක් තිබෙනවා නේද? එම තොරතුරු මූලාශ්‍ර ජනමාධ්‍යවේදියාගෙන් ලබාගැනීමට. මෙය ජනමාධ්‍ය නිදහසට යම් ආකාරයකින් බලපානවා කියලා යමෙකු තර්ක කළොත්...

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිසිම චකිතයක් ඇතිකර ගත යුතු නැහැ. තමා තොරතුරු ලබාගන්නා මූලාශ්‍ර හෙළි නොකිරීම මාධ්‍යවේදීන් සතු අයිතියක් බව අපි පිළිගන්නවා. ඒ තොරතුරු හෙළිකරන්න කියලා පුවත්පත් මණ්ඩලය කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. එවැනි දෙයක් නොවෙයි පුවත්පත් මණ්ඩලයට අවශ්‍ය කරන්නේ.

ඇතැමුන් දේශපාලන වාසි ලබාගන්න මෙමඟින් කටයුතු කරන්න උත්සාහ ගන්න නිසයි මේ පටලැවිල්ල ඇතිකරගෙන තියෙන්නේ. පුවත්පත් කලාවේදියාට ලැබෙන තොරතුරු හෙළි නොකිරීමේ සම්ප්‍රදායක් මේ රටේ තියෙන බව අපි හැමෝම දන්නවා.

එය අධිකරණයෙන් පවා ප්‍රශ්න නොකරන දෙයක්. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නැහැ. පුවත්පත් මණ්ඩලය මගින් කරන්න යන්නේ කෙනෙකුට යම් පුවත්පතකින් අපහාසයක් සිදුවුවහොත් එය නිවැරදි කර ගැනීම සඳහා යම් සමථ ක්‍රියාවලියක් පමණයි.

අමාත්‍යවරයෙකුගේ, නිලධාරියෙකුගේ හෝ යම් රජයේ ආයතනයක දූෂණ, වංචා වාර්තා කිරීම සඳහා මින් බාධාවක් සිදුනොවන බවට දිය හැකි සහතිකය කුමක්ද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම දූෂණ, වංචාවක් හෙළිදරව් කිරීමක් සඳහා පුවත්පත් මණ්ඩලයෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවෙන්නේ නැහැ. ඒවගේ වාර්තා කිරීම් අපහාස නොවෙයිනේ. රජයක් කවදාවත් පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන්න යන්නෙ නැහැනේ. යම් වාර්තාවකින් අපහාසයකට ලක්වන පුද්ගලයන් පමණයි පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන්නේ.

ඌව පළාත් සභාවේ ජය පරාජයන් ගැන තවමත් කතා වෙද්දී දකුණු පළාත් සභා මැතිවරණයට නාමයෝජනා සකස් කෙරෙමින් පවතිනවා. දිගින් දිගටම පරාජය වීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙන බව විපක්‍ෂය පවසනවා. ඉන් එක් හේතුවක් විදියට ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ මාධ්‍ය යොදාගෙන ආණ්ඩුවට දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙන අතරතුර විපක්‍ෂයට මඩ ප්‍රහාර එල්ල කරන බවයි.

අපේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසක් පවතිනවා. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් රාජ්‍ය මාධ්‍යවලට වඩා පෞද්ගලික මාධ්‍ය ආයතන සංඛ්‍යාව වැඩියි.

රජයේ පාර්ශ්වයට වඩා කරුණු ජනතාව අතරට ගියේ විපක්‍ෂයෙන්. විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්තිවලින් හා පුවත්පත් වාර්තාවලින් ඒ බව මනාව පෙන්නුම් කළා. සමහර අවස්ථාවලදී රජයට බෙහෙවින් අසාධාරණ වෙන වාර්තා පළවුණත් අපි කිසිම බලපෑමක් කරන්න ගියේ නැහැ.

පසුගිය සියලුම මැතිවරණවලදී විපක්‍ෂයේ මතය ජනතාව අතරට ගෙනියන්න කිසිම බාධාවක් සිදුවුණේ නැහැ. රජයේ මාධ්‍ය පමණක් තිබුණා නම් විරුද්ධ පක්‍ෂය නඟන තර්කයේ සත්‍යතාවක් තියෙන්න තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. තාක්ෂණය දියුණු වීමත් සමග අන්තර්ජාලයත් වේගවත් වී තිබෙනවා.

රජයට එරෙහිව පුවත් පළකරන වෙබ් අඩවි කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද? විපක්‍ෂයේ මතය කෙතරම් ජනතාව අතරට ගියත් ජනතාව ඒ මතයට එකඟ වුණේ නැහැ. ඒ නිසයි පසුගිය හැම මැතිවරණයකදීම ආණ්ඩුව පිට පිට ජය ලබාගත්තේ. පසුගිය ජනාධිපතිවරණයේදී සියලුම පෞද්ගලික මාධ්‍ය ආයතන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය විසින් බදු ගත්තා. සමහර මාධ්‍යවල මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීමක්වත් දාගන්න ඉඩ ලැබුණේ නැහැ.

මුදල් ගෙවා ප්‍රචාරය කරන්නවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම් දාන්න බොහොමයක් පෞද්ගලික මාධ්‍ය ආයතන කැමැත්ත පළනොකළේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසයි.

පසුගිය ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට මාධ්‍ය මගින් නොකළ දෙයක් නැහැ. අවසානයේදී ජයග්‍රහණය කළේ ජනතාව බහුතරයක් කැමැත්ත දුන් මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒක නිසා සැබෑ ජනමතය කිසිම මාධ්‍යයකට කවදාවත් වෙනස් කරන්න බැහැ.