‘උතුරු මිතුරු’ ප්‍රචාරක වැඩට කෝටියක් වැය කළ කතාව බොරු

උතුරු මිතුරු ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටියක් වියදම් කළ බවට ජනතා විමුක්ති පෙරමුණ නඟන චෝදනාව ශුද්ධවූ බොරුවක් බව ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) අවධාරණයෙන් සඳහන් කෙළේය.

ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය වූයේ රුපියල් දසලක්‍ෂයක තරම් මුදලක් බවත්, එම මුදල සොයා ගත්තේ ද ජනතා විමුක්ති පෙරමුණ “දහසක් වැව්” ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා අනුගමනය කළ ප්‍රචාරක මූලධර්ම අනුවම බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

උතුරු මිතුරු වැඩසටහන යටතේ රුපියල් කෝටි හතළිස් දෙකක මුදලක් වැය කරමින් දුම්රිය ස්ථාන විසිනවයක් ඉදිකර දීමට අනුග්‍රාහකයන් හමුවී ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කෙළේය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මාතර දිස්ත්‍රික් ජ. වි. පෙ. මන්ත්‍රී පේමසිරි මානගේ මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොස් පැළ ලක්‍ෂ හයක් සිටුවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විශාල මුදලක් වැය කළ බවට මීට ඉහත දිනෙක පාර්ලිමේන්තුවේදී ජ. වි. පෙ. මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර ඇතැයි සිහිගැන්වූ ඇමැතිවරයා, පැළ සිටුවීමේ ව්‍යාපෘතියට දුම්රිය දෙපාර්තමේන්තුව සතයක් හෝ වියදම් කර නැති බවද පැහැදිලි කෙළේය.

දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එක්වී පැළ සිටුවීම ක්‍රියාත්මක කළ බවද, ඒ සඳහා පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දුන් අතර කොළඹ විශ්වවිද්‍යාලය අවශ්‍ය පහසුකම් සපයා දුන් බවද ඇමැතිවරයා කීවේය.