ශ්‍රී ලාංකිකයෝ ආසියාවේ තෘප්තිමත්ම ජනතාවයි සමීක්ෂණයකින් හෙළි වෙයි

ආසියා රටවල ජනතාව අතර වඩාත් තෘප්තිමත් ජීවිත ගත කරන්නේ ශ්‍රී ලාංකිකයන් බව අධ්‍යයන සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

“ග්‍රේ ගෲප් ඒෂියා පැසිෆික්” නම් ප්‍රචාරක ආයතනයෙන් පවත්වන ලද පාරිභෝගික ආකල්ප විමසීමේ අධ්‍යයනයකදී මේ කරුණු අනාවරණය වී ඇත. ආසියා රටවල් 16 ක් මේ සමීක්ෂණයට යොදාගෙන ඇති අතර එහිදී 93% ක්ම තෘප්තිමත් ජීවිත ගත කරන බව ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකාව එම රටවල් අතර ප්‍රමුඛස්ථානය හිමි කැරගෙන ඇත.

එම ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ 28% ක කැමැත්ත පළවූ තායිවානයටය. ඉහත කී ආයතනය සිවුවැනි වරට පවත්වන ලද මේ අධ්‍යයන සමීක්ෂණය සඳහා අදාළ ආසියා - පැසිෆික් රටවල් 16 යේ වයස අවුරුදු 18 – 65 අතර වූවන් 8000 කට වැඩි පිරිසක් සහභාගි කරවාගෙන තිබිණි.

ඉකුත් දෙසැම්බර් හා ජනවාරි මස අතරදී පවත්වන ලද මේ සමීක්ෂණයේදී සමහරුන් සෘජුවම ප්‍රශ්න කරන ලද අතර තවත් සමහරුන් ඊමේල් මගින් ඊට සහභාගි කැරගෙන තිබිණ. මෙහිදී වඩාත් සුබවාදී තත්ත්වයන් පවත්නා රටවල් තේරීමේදී 94% බැගින් ලබාගත් ශ්‍රී ලංකාව හා චීනය සම තත්ත්වයේ පසුවන බවද අනාවරණය විය.

ශ්‍රී ලංකාවෙන් පසු වඩාත් තෘප්තිමත් ජීවිත ගතකරන ජනතාවක් සිටින්නේ වියට්නාමයේ (80%) බවද ඉන් ප්‍රකාශ වී තිබේ. ඉන්දියාවට හිමිව ඇත්තේ ලැයිස්තුවේ 6 වැනි තැනයි (71%), තායිලන්තයද එරට හා සමාන ස්ථානයක පසුවෙයි.

සිංගප්පූරු ජනතාවගෙන් තෘප්තිමත් බව තහවුරු කැර ඇත්තේ 63% ක් පමණි. ඔවුන්ගෙන් 65% ක් අතීතයට වඩා අනාගතය යහපත් වනු ඇති බව විශ්වාසය කැර තිබේ. ඉකුත් 12 මස සැලකීමේදී දැනට වඩා 12 මසකට ඉහතදී වඩාත් තෘප්තිමත් ජීවිත ගත කළ බව සිංගප්පූරු ජාතිකයන් 24% ක්ම ප්‍රකාශ කැර ඇත.