දහම් පාසල් නඟා සිටුවා ගුණ ගරුක සමාජයක් බිහි කරලීම රජයේ වෑයමයි ඇමැති නිර්මල කොතලාවල කොස්ගුලන දී කියයි

මුළු රටේම පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කර ලෝකය ජය ගත හැකි අධ්‍යාපනයක් ලබා දෙමින් දහම් පාසල් නගා සිටුවා ඒ මගින් ගුණ ගරුක ජන සමාජයක් සාර ධර්ම වලින් පිරිපුන් පරපුරක් බිහි කරැලීම රජයේ වෑයම බවත් අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.


අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතා දහම් පාසල් සිසුවියකට නිල ඇඳුම් ලබා දුන් අවස්ථාව
ඡායාරූපය පාලින්ද නුවර විශේෂ මාකෙළියේ සේන

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා පාලින්දනුවර කොස්ගුලන ගංගාරාම විහාරස්ථානයේ පැවැති දහම් පාසල් නිල ඇඳුම් කට්ටල ලබා දීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ගුණතිලක මහතාගේ දැඩි කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් කොස්ගුලන ගංගාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසල් දරු දැරියන්ට මෙම නිල ඇඳුම් කට්ටල බෙදා දීම අධ්‍යාපන සේවා ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. මෙහිදී තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

රවීන්ද්‍ර ගුණතිලක මන්ත්‍රීවරයා වැඩ කරන්න පුළුවන් දක්ෂ තරුණයෙක්. පක්ෂ පාට ගැන හිතුවේ නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණත් දැන් අපිත් සමග ඉන්නවා.

වෙනත් පක්ෂයක් නියෝජනය කළත් තමන් මෙතෙන්ට පත් කළ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න රටට ආදරය කරන කෙනෙක් හැටියට දැන් අපිත් සමග සිටිනවා. මෙම දහම් පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් ලබා දෙන්න මේ අවස්ථාව එළැඹුනේ ඒ නිසයි.

කොස්ගුලන ගංගාරාම විහාරස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසලට පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමට කඩිනමින් පියවර ගන්නවා.

පාලින්දනුවර කොස්ගුලන ගංගාරාම විහාරාධිපති වලකඩ මහින්ද තිස්ස හිමි

ජනාධිපති තුමා එඩිතර නායකයෙක්. යුද්ධයට නිර්භීතව මුහුණ දුන්නා. නොසැලී ක්‍රියා කළා. මේ රට බේරා ගන්න යුද්ධය කරන ගමන් ගම දිහා බැලුවා. ගම දියුණු කළා. පාසල් නගා සිටුවන්න ක්‍රියා කළා. මේ ගමට රැස්වීමක් තියන්න තැනක් තිබුණේ නෑ. අද මේ රැස්වීම පවත්වන්න පුළුවන් මේ සදහම් ප්‍රජා ශාලාව හැදුණේ ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළක් නිසයි.

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ගුණතිලක මහතා හා තවත් කීප දෙනෙක් මෙම අවස්ථාවේදී අමතා අදහස් පළ කළහ.