නිවෙසක සිහිනය සැබෑ කර ගන්න අර්ථ සාධක අරමුදලේ සාමාජිකයනට පොලී රහිතව 30%ක දීමනාවක්

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට නිවසක් සාදාගැනීම සඳහා සිය දායක මුදලින් සියයට 30 ක් දීමනාවක් ලෙසින් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සේවක අර්ථ සාධක අරමුදල (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා එම දීමනාව ණයක් ලෙස නොව පොලී අය නොකරන දීමනාවක් ලෙසින් සාමාජිකයින්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කළේය.

අරමුදලේ ඇති සාමාජිකයින්ගේ දායක මුදල් වලින් සියයට 30ක් ලබාගැනීමට ඉඩ දෙන්නේ නිවසක් ඉදිකර ගැනීමට බව කී ඇමැතිවරයා සාමාජිකයාගේ ශල්‍යකර්ම වැනි වෛද්‍ය අවස්ථා සඳහා අරමුදලින් මුදල් ලබාදීමට පියවර ගන්නා බවත් සාමාජිකයාට වාසි රැසක් ලැබෙන රක්ෂණ යෝජනා ක්‍රමයක් ද ආරම්භ කරන බව පැවැසීය.

සාමාජිකයාට සිය දායක මුදල් ප්‍රමාණය සහිත ගිනුම සිය ජංගම දුරකථනය මගින් ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව කී ඇමැතිවරයා දායක මුදල් සඳහා ගෙවන පොලී අනුපාතයද ඉහළ නංවන බව කීය.