පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල වෙතැයි ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ඉන්දීය අගමැති තීරණය කරයි

පකිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලි නැවත වරක් ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට චෝදනා කළ ඉන්දීය අගමැති මන්මෝහන් සිං එරට ආරක්ෂක හමුදාවන්ට සීරුවෙන් සිටින ලෙස උපදෙස්දී ඇත.

මුම්බායි ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවේ ආරක්ෂක විධිවිධාන තරකර තිබේ. අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ඉහළ පෙළේ සමුළුවක් අමතමින් ඉන්දීය අගමැතිවරයා කියා ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරවලින් වැළකීමට නම් ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම අතර බුද්ධිමය තොරතුරු ක්‍රියාකාරී ලෙස හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය බවයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ කල්ලිගැසී සිටින ත්‍රස්තවාදීන්ට අවි සහ පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට චෝදනා එල්ල කරයි. කෙසේවෙතත්, පාකිස්තානය මේ චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ත්‍රස්තවාදය තදින්ම ක්‍රියාත්මක වන උතුරු දිසා ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තවලින් ඔබ්බටද ඔවුහු ව්‍යාප්තවී ඇති බවට ඉන්දීය අගමැතිවරයා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඉන්දීය භූ®මියෙන් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට තමන් දැඩිසේ ඇපකැපවන බව ඉන්දීය අගමැතිවරයා නිදහස් දින සැමරුම් උත්සවයේදී ප්‍රතිඥාවක්ද දී තිබේ.

ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තානය ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන බවට පකිස්තාන විදේශ ඇමැතිවරයා එරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට සහතිකවී ඇත.

වාමවාදී හා මාවෝ වාදී අන්තවාදීන්ගෙන් ඉන්දියාවට දැඩි තර්ජනයක් එල්ලවන බව මන්මෝහන් සිං අවධාරණයකර තිබේ. මාවෝවාදීන්ට එරෙහිව බහු - විධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට පියවර ගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති චින්තම්බරම් පවසයි.