කොටදෙණියාවේ බැංකු කොල්ලය සැකකරුවෝ 6 දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනා ගැනෙති

පෞද්ගලික බැංකුවලට අයත් මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී කොටදෙණියාවේ සිදුකළ රුපියල් කෝටි 10 කට අධික මුදලක් මංකොල්ලකෑමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හත්දෙනාගෙන් හයදෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (24) පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී.

මෙහිදී පළමු සැකකරු කළුතර චන්දිම කපිල තුෂාර ද සිල්වා නමැති අය හඳුනා ගැනීමට සාක්කිකරුවන්ට නොහැකි විය.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන්ට හඳුනා ගැනීමට හැකිවූයේ රණසිංහ ආරච්චිගේ රවින්ද්‍ර නාලක, රවින් අරුණ වික්‍රමසිංහ, දුමින්ද ප්‍රසන්න, ප්‍රියලාල් තලගල, ප්‍රජාමූල්ල විධාන ආරච්චිගේ නුවන් තුෂාර, සුරංග සංජීව සිල්වා සහ ජයන්ත පත්මසිරි යන සැකකරුවන් හයදෙනාය.

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන මුදල් ප්‍රවාහනය කිරීමට යොදාගත් වාහනය අදාළ ආයතනයට මුදාහරින ලෙසට නීතිඥ නිමාලි අධිකාරි මහත්මිය සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දුලින් ද වීරසූරිය මහතා කළ ඉල්ලීම පිළිගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රුපියල් ලක්ෂ 35 ක ඇපකරයක් මත එම රථය එහි පරණ අයිතිකරුට මුදාහරින ලෙස නියෝග කළාය.

සෑම නඩු දිනයකදීම වාහනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් එහි වෙනසක් නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති අයිවන් මහතා විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියේය.

කරුණු සළකා බලා සියලුම සැකකරුවන් ලබන සැප්තැම්බර් මස 07 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ස්වාර්ණාධිපති මහත්මිය නියම කළාය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය සමඟ නීතිඥ දසුන් නාගහවත්ත මහතා පෙනී සිටියේය.