අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

අගෝ: 21 - අඟුලාන ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පැවසුවේ, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නිලධාරින් 9 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

මීට අමතරව එම නිලධාරින් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ද විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොලිස් නිලධාරින්ගේ ද වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පැවසීය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණ සහ විමර්ශන අධ්‍යක්ෂිකා සමන්ති ජයමාන්න මහත්මිය සඳහන් කළේ, අගුලාන තරුණයින්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ මේ සතිය තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම් සිදු කෙරෙන බව ඇය ප්‍රකාශ කළාය.