හිටපු අගවිනිසුරු පී. බී. ට එරෙහිව පක්ෂග්‍රාහී තීන්දු දෙමින් කටයුතු කළා රහසිගත දිවුරුමක් භාර දෙමින් ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා කියයි

හිටපු අගවිනිසුරුවරයා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී. බී. ජයසුන්දර මහතාට එරෙහිව තීන්දු දෙමින් නඩු විභාග කැර ඇත්තේ පක්ෂග්‍රාහීව කටයුතු කරමින් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (24) කීය.

ඒ බව හිටපු අගවිනිසුරුවරයා ඉකුත් වසරේ කළ ප්‍රසිද්ධ කතාවකින් පෙන්නුම් කැර ඇතැයිද හෙතෙම කීය.

මුදල් අමාත්‍යාංශයෙහි මූල්‍ය පාලන කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාලනය කිරීමට තමා , සූදානම් බව එම කතාවේ දී හිටපු අගවිනිසුරුවරයා සඳහන් කැර ඇතැයි මුස්තාපා මහතා කීය.

ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් රහස්‍ය දිව්රුම් ප්‍රකාශයක් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ බාර දෙන ලදී.

එකී දිව්රුම් ප්‍රකාශයෙහි පිටපත් තමන්ට අවශ්‍ය බව මැරයින් සර්විසස් නඩුවෙහි පාර්ශ්වකරුවන් අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව අධිකරණයෙහි නියෝගය මත එහි පිටපත් මැරයින් සර්විසස් නඩුවෙහි මුල් පෙත්සම්කරු වන වාසුදේව නානායක්කාර මහතාගේ නීතිඥ මහතාට සහ මැදිහත් පෙත්සම්කරුවකු වන නිහාල් ශ්‍රී අමරසේකර මහතාට බාර දෙන ලදී. සෙසු පාර්ශවකරුවන්ට එය බාර දීම සම්බන්ධයෙන් ෆායිස් මුස්තාපා මහතා විරෝධය පළ කළේය.

තමන් සෘජුව හෝ වක්‍රව රජයේ කිසිදු තනතුරක් මින් ඉදිරියට බාර නොගන්නා බවට පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය බල රහිත කරන්නැයි ඉල්ලා ජයසුන්දර මහතා ගොනු කළ මෝසම සලකා බැලූ අවස්ථාවේ දී මේ රහසිගත දිව්රුම් ප්‍රකාශය බාර දෙන ලදී.

අගවිනිසුරු අශෝක ද සිල්වා , සලීම් මර්සුප්, ජගත් බාලපටබැඳි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ මෝසම කැඳවන ලදී.

මැරයින් සර්විසස් නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට නියෝග කෙළේ රජයේ කිසිදු තනතුරක් වක්‍රව හෝ සෘජුව බාර නොගන්නා බවට සහතික වෙමින් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරණ ලෙසය. ඒ අනුව ජයසුන්දර මහතා දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේ ය. අනතුරුව පී. බී. ජයසුන්දර මහතා මේ මෝසම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තමන් මීට පෙර ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය බල රහිත කරණ ලෙසය.

රටේ සංවර්ධන කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙහි ලේකම් ධූරය නැවත බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවට ජයසුන්දර මහතා මෝසම මගින් සඳහන් කැර සිටියේ ය.

එහෙත් තමන් බාර දී ඇති දිව්රුම් ප්‍රකාශය එකී ඉල්ලීම ඉටු කිරීම සඳහා බාධාවක් බවට හෙතෙම කරුණු ඉදිරිපත් කෙළේ ය.

මෝසම විභාගයට ගැනීම (27) දාට කල් තැබිණි.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේ ය. නීතිඥ එම්. ඒ . සුමන්තිරම් මහතා මුල් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ ය.