පැල්පත් වාසීන් 4460කට නිවාස


”නාගරික දිළිඳු නිවාස අරුණෝදය” වැඩසටහන යටතේ පසුගිය මාසය වන විට නිවාස 4460 ක් පැල්පත් වාසී ජනතාවට හිමිකර දීමට රජය පියවර ගෙන ඇත.

පැල්පත් වලින් තොර නගර බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මේ වැඩසටහන සඳහා රුපියල් දසලක්‍ෂ 583ක් වැය කර තිබේ.

මහින්ද චින්තන වැඩසටහනට අනුව නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දිළිඳු නිවාස අරුණෝදය වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක ක්‍රියාත්මක වන අතර ඒ තුළින් පැල්පත් වාසී ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට හැකි වන බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 2273 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 304 ක් ද ඉදිකර තිබේ.

මේ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදි කර තිබෙන නිවාස ගණන 331 ක් වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 117 ක් ද මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 162 ක් ද ඉදි කැර ඇත.

නාගරික දිළිඳු නිවාස අරුණෝදය වැඩ සටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 405 ක් ද අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 190 ක් ද ඉදි කර තිබෙන අතර ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 92 ක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 118 ක් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 78 ක් ද ඉදිකර තිබේ.