නිපුණ රාමනායක සිසුවාට පහරදීම වාස්ගේ බිරිය රිමාන්ඩ් ඇප දුන්නොත් මහජන කැළැඹීමක්: පොලිසිය කියයි

මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශය වෙත බාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ බිරිය ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අතිරේක දිසා විනිසුරු මහතිල් ප්‍රසන්න ද සිල්වා මහතා ඊයේ (20) සවස නියෝග කෙළේය.

දෙහිවල නැදිමාලේ පදිංචි ශ්‍යාමලී පි‍්‍රයදර්ශනී පෙරේරා නමැති මේ සැකකාරිය ඊයේ (20) උදේ ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ගුණරත්න මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ බාර වී ඇත.

ඉන් අනතුරුව සැකකාරියගෙන් දීර්ඝ ලෙස කටඋත්තරයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඕ. කේ. ටී. නානායක්කාර මහතා විසින් සැකකාරිය ඊයේ (20) සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සිද්ධිය සම්බන්ධව දැනට පොලිස් නිලධාරීන් 12 දෙනෙකු හා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

වාස් ගුණවර්ධන මහතාගේ බිරිය මේ සිද්ධියේ 14 වැනි සැකකාරිය ලෙසට නම් කර ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය නිපුණ රාමනායක සිසුවා ජීප් රථයෙන් පැහැරගෙන යන අවස්ථාවේ සිද්ධියේ 12 වැනි සැකකරු වන රවිදු වාස් ගුණවර්ධන “අම්මී” යනුවෙන් දුරකථනයෙන් කථා කළ කාන්තාව, තමා නිවසට රැගෙන ගිය පසු තමාට පොලුවලින් පහර දුන් බවට පොලිසියට ලබා දුන් කටඋත්තරවල සඳහන් කර ඇතැයි සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරමින් අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

තවද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිපුණ රාමනායක සිසුවා ප්‍රතිකාර ලබා රෝහලින් බැහැර වූ බවට අධිකරණයට කරුණු වාර්තා කර නැතැයි ද සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරමින් අතිරේක දිසා විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ සිද්ධිය සිදුවූයේ පසුගිය 04 වැනිදා බවත්, සිද්ධියට අදාළ සැකකරුවන් 12 දෙනකු පසුගිය 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත්, ප්‍රකාශ කළ අතිරේක දිසා විනිසුරුවරිය මේ සැකකාරිය පොලිසියට බාර වූයේ 20 වැනිදා බවද පැවැසීය.

අදාළ සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බවත්, තුවාලකරු වන රාමනායක සිසුවා පැහැර ගැනීම සිදුවූ ආසන්න වෙලාවකදී සිද්ධියේ 12 වැනි සැකකරු වන රවිදු වාස් ගුණවර්ධන විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ඇති බවත් ඉන් අනතුරුව ඔහුගේ නිවසේ දුරකථන අංකයෙන් සැකකාර රවිඳු වාස් ගුණවර්ධනගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති බවත් දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වූ බව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. කේ. ටී. නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේය.