2001ට පසු පහළ ම ආර්ථික වර්ධන වේගය 2009 වසරේ

ජූනි 17 - 2001 වසරෙන් පසුව පහළ ම ආර්ථික වර්ධන වේගය මේ වසරේ මුල් කාර්තුවේදී වාර්තා වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය අද අනාවරණය කළේ, 2009 වසරේ ප්‍රථම කාර්තුවේ ආර්ථික වර්ධනය 1.5%කට සීමා වී ඇති බවය.

පසුගිය වසරේ ප්‍රථම කාර්තුවේදී මෙරට ආර්ථිකය 6.2%කින් වර්ධනය වී තිබිණ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මේ වසරේ ප්‍රථම කාර්තුව තුළදී ආර්ථික වර්ධනය පසු බැසීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, අපනයන අංශවල සෘණ වර්ධනයය.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පෙන්වා දෙන්නේ, මහ බැංකුව ඉලක්ක කර ඇති පරිදි මේ වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අභියෝගයක් වනු ඇති බවය.