ජූනි 13 - සහන මිලට මෙරටට අවශ්‍ය සහල් තොග ලබා දීමට පකිස්ථාන සහ බංග්ලාදේශ රජයයන් එකඟත්වය පළ කර තිබේ.
පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය දා තුර්කියේ පැවති ජාත්‍යන්තර වෙළෙඳ සමුළුවේදී පැවැත්වූ සාකච්ඡාවලින් පසු එම රටවල්වල වෙළෙඳ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවය.
මේ වන විට අදාළ රටවල් සහල් අපනයනය කිරීම නතර කර ඇතත් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාම සඳහා එම රටවල් මෙම සහල් තොග ලබා දෙනු ඇත.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, වෙළෙඳුන් සහල් මිල වැඩි කිරීමට උත්සහ දැරුවහොත් අදාළ සහල් තොග ආනයනය කිරීමට පියවර ගන්නා බවය.
දැනටමත් ආරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා සම්බා සහල් ආනයනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.