‘නවක වදය’ දුන්නොත් වැඩ වරදී උසස් අධ්‍යාපන ඇමැති තදින් හිටී


නවක වදය ලබා දුන් බවට ඔප්පුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ තරාතිරම නොබලා ශිෂ්‍ය භාවය වහාම අවලංගු කරන ලෙස උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් උපකුලපතින්ට දැනුම් දෙයි.

මේ දිනවල විශ්වවිද්‍යාල කිහිපයක නවක සිසුන්ට ඉතා තදින් නවක වදය දෙන බව මවුපියන් මෙන්ම ඇතැම් සිසුන්ද දුරකථන, ලිපි හා ෆැක්ස් පණිවිඩ මගින් අමාත්‍යාංශයට දන්වා ඇති බැවින් ඇමැතිවරයා එම උපදෙස් ලබා දී ඇත.

නවකවදය ගැන ලැබෙන පැමිණිලි සියල්ලට ම නවකවද පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස තමා පොලිසියට දැනුම්දෙන බව මහාචාර්ය විශ්වා වර්ණපාල ඇමැතිවරයා “දිනමිණ”ට කීවේය.

පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාල දෙකේ නවක සිසුන්ට කෑමෙන් පසු අත සෝදාගැනීමට පවා ඉඩ නොදෙමින් ඉතා ම්ලේච්ඡාකාරයට නවකවදය දෙන බවටත් නේවාසිකාගාරවලට රාත්‍රියේ පැමිණෙන දෙවැනි වසරේ සිසුන් නවකයන්ට දැඩි වද හිංසා පමුණුවන බවටත් ඒවා දරාගත නොහැකි වූ සිසුන් ආපසු නිවෙස්වලට ගොස් ඇති බවත් අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

නවකවදය දුන් බවට පරීක්ෂණවලදී ඔප්පුවන සෑම සිසුවකුගේම තරා තිරම නොබලා ශිෂ්‍යභාවය අවලංගු කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් ක්‍රියාකළ යුතු බවත් එසේ නැතිනම් මේ ම්ලේච්ඡත්වය නැවැත්විය නොහැකි බවත් ඇමැතිවරයා කීවේය.

නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය.