ඉන්දියාවටත් විකාශය කළ හැකි සන්නිවේදන කුළුණක්

මීටර් 172ක් උස සන්නිවේදන කුළුණක් මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කොකාවිල්හි ඉදිකිරීමට මුල් ගල් තැබීම ලබන 19 වෙනිදා ජනමාධ්‍ය හා තොරතුරු සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

උතුරු පළාතේ සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඉදිකරන මේ කුළුණ මඟින් උතුරු පළාතට පමණක් නො ව දකුණු ඉන්දියාවට ද මෙරට රූපවාහිනී සේවා විකාශය කළ හැකි වන බව කුළුණ ඉදිකරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

පසුගිය 2008 දෙසැම්බර් මාසයේදී යුද හමුදාවේ 57 වන සේනාංකයේ සෙබළුන් විසින් කොකාවිල් අත්පත් කර ගනු ලබන තෙක් ම එය ත්‍රස්තවාදීන් යටතේ තිබිණි. කොටි ත්‍රස්තවාදීන් කොකාවිල් ප්‍රදේශය අත්පත් කර ගත්තේ 1990 ජූලි 11 වැනිදා ය.

වසර 28කට පසු ව ඉදි කෙරෙන මේ නව සන්නිවේදන කුළුණ මඟින් රූපවාහිනී, ගුවන්විදුලි, ජංගම දුරකතන සන්නිවේදන පහසුකම් උතුරු පළාතට බෙදාහරිනු ඇත.

නව විදුලි සංදේශ කුළුණ සඳහා රුපියල් ලක්ෂ 1500ක් වැයවෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.