පරමාදර්ශී ආණ්ඩුකාරවරයෙක් වීම මගේ බලාපොරොත්තුවයි ජානක බණ්ඩාර සබරගමුව ආණ්ඩුකාර
සබරගමුව නව ආණ්ඩුකාරවරයා ලෙස ජානක බණ්ඩාර මහතා නොබෝදා වැඩ ඇරැඹීය. එම තනතුරට පත්වන විට ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ධුරය දරමින් සිටි අතර ඊට පෙර මහා භාරකාර තනතුරෙහි ද, විනිසුරුවරයකු ලෙස ද කටයුතු කර ඇත. රාජකාරී ඇරැඹීමෙන් පසු පුවත්පතකට ඔහු ලබාදෙන පළමු සාකච්ඡාව මෙය වේ. සබරගමුව පිළිබඳ ඔහුගේ දැක්ම, ආණ්ඩුකාර භූමිකාව, ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රට යළි ගොඩනැඟීම වැනි දෑ අරබයා ඔහු දැක් වූ අදහස් “දිනමිණ” මෙලෙස පෙළ ගස්වයි.
* ඔබ සබරගමුවේ ආණ්ඩුකාර ධුරය සඳහා පත්වෙන්නෙ කොහොමද කියන කාරණයෙන්ම අපි මේ සංවාදයට පිවිසෙමු...
ජනාධිපතිතුමා, සබරගමුවේ නව ආණ්ඩුකාර ධුරය භාරගන්නා හැටියට මගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙනකොට මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති හැටියට කටයුතු කරමිනුයි සිටියෙ. සන්සන්දනාත්මකව බැලුවොත්, ජනාධිපතිතුමා ගේ විදේශ දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මම රාජ්‍යතාන්ත්‍රිකයෙක් හැටියට කටයුතු කළේ. ඉහළ ආදායමක් ලබන, ඉහළ වරප්‍රසාද සහිත තානාපති ධුරය අත්හැරලා, විශාල ආර්ථික පාඩුවකුත් දරාගනිමින් තමයි මම ලංකාවට ආවෙ.
මෙතැනදි, ජනාධිපතිතුමා මට කිව්වෙ, අවුරුදු 30 ක යුද්ධයකින් පසුව ත්‍රස්තවාදය පරාජය කරලා මම රට ගොඩනඟන කාර්යයට අවතීර්ණ වෙලයි ඉන්නෙ, ඒ කාරණයෙදි මට තරුණ ජවය තියෙන අය අවශ්‍ය යි ඒ නිසා ජානක ලංකාවට එන්න කියලා.
මෙහිදී මම කල්පනා කළා, ලාභ ප්‍රයෝජන හැම දෙයක්ම අත්හැරලා, මොනතරම් කරදර කම්කටොලුවලට පෞද්ගලික ජීවිතයේ මුහුණ දුන්නත් ජනාධිපතිතුමා ගේ ජාතික මෙහෙවරට මට හැකි අයුරින් දායක වෙනවයි කියල. ඒ නිසා තමයි මම එමීරයෙ ඉඳන් සබරගමුවට ආවෙ.
* විනිසුරුවරයකු හැටියට කටයුතු කළ කාලයේ ඔබට සබරගමුව පිළිබඳ යම් දුරක අත්දැකීම් තිබෙනවා. ඒ පළාතේ විශේෂතා - ජන ජීවිතය – ආර්ථිකය - සංස්කෘතිය – දුෂ්කරතා ආදී කාරණා ඔස්සේ ඔබ සබරගමුව දිහා බලන්නේ කොහොමද?
සබරගමුව පළාත හරිම සුවිශේෂීයි. එක් පැත්තකින් මේ පළාත හම්බන්තොට දිස්ත්‍රික් මායිම දක්වා විහිදෙනවා. ඒ පැත්තෙ තියෙන්නේ ඉතාමත් වියළි – ශුෂ්ක – කටුක දේශගුණයක්. අනෙක් පැත්තේ බුළුතොට – විජේරිය – කඩමුදුන වගේ ප්‍රදේශවලට ගියාම දැඩි ශීත දේශගුණයක් සහ කඳුකර පාරිසරික තත්ත්වයක් හමුවෙනවා.
මේ විදියෙ පාරිසරික විවිධත්වයක් හැරුණාම සම්පත්වලින් අනූන ප්‍රදේශයක්. ගංඟා ගලන – ගහ කොළ හැදෙන - සතා සීපාවා ඉන්න පළාතක්. ඓතිහාසිකව ගත්තොත් මානව ශිෂ්ටාචාරය බලංගොඩ මානවයා දක්වා ඈතට විහිද යන ප්‍රදේශයක්. බුදුරජාණන් වහන්සේ ගේ උතුම් පිය සටහන් රැඳී සමනල අඩවිය පිහිටා තිබෙන්නෙත් සබරගමුවේ. මේ විදියට ඓතිහාසික - සංස්කෘතික වැදගත්කම විශාලයි.
මිලියන දෙකකට ආසන්න ජනගහණයක් මේ පළාතේ ජීවත් වෙනවා. මගේ පෙර අත්දැකීම් එක්ක කිව්වොත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තනිකර කාන්තාරයක්. එහි ඇති එකම සම්පත තෙල්. මේ කාන්තාරයෙ අඩුඩාබිය, එමීරය වටා යම් ප්‍රමාණයකට මුහුද තියෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලංකාව සන්සන්දනය කළාම, ඒ කාන්තාරයත් එක්ක එමීරය මොනතරම් ඉහළ මට්ටමක ද තියෙන්නෙ.
අපේ රට වටාම මුහුද තිබිලත් අපි සමහර අවස්ථාවල ජල හිඟයෙන් පීඩා විඳිනවා. එමීර් රාජ්‍යයේ මුහුදු ජලය පානීය ජලය බවට පත්කරනවා. කාන්තාරයේ සිටියත් කාටවත් ජලයෙන් අඩුවක් නැහැ. ඒ කාන්තාරයේ ඍතු අනුව වෙනස් වන අන්දමට පාරිසරික අලංකරණයක් සැලසුම් කරලා. අබුඩාබි – ඩුබායි ප්‍රධාන වීදි දෙපස හැම මාසෙම මල් පිපිලා. ඒ කාන්තාරයෙ ලංකාවෙ නැති තරම් ගස් වවලා. නාගස් - නුගගස් පවා. ඒවා ගැන අධ්‍යයනය කරලා අවශ්‍ය පරිසර තත්ත්ව හදලා දරුවො වගේ ඒවා රැක ගන්නවා. ඔවුන් සුන්දර ලෝකයක් කරල තියෙන්නෙ සම්පත් අඩු මහා කාන්තාරයක්.
ශ්‍රී ලංකාවෙ සබරගමුව ගත්තොත් ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන, ඓතිහාසික උරුමයන් සහිත මහා සම්පතක්. නමුත්, මේ පළාතේ ඉතා දුෂ්කර දිළිඳු ගම්මාන තියෙනවා. ඉතා අඩු ආදායම් ලාභී පවුල් සිටිනවා. මට දැනගන්න ලැබුණ විදියට නිසි සනීපාරක්‍ෂක පහසුකම් නැතිව තවමත් බැද්දට යන ජනගහනයකුත් ඉන්නවා, තවමත් වාහනයක් නොදුටු දරුවො ඉන්නවා. සාක්‍ෂරතාවය නැති දරුවො ඉන්නවා.
මම කල්පනා කරන්නේ මේ ස්වභාවික සෞන්දර්ය, සම්පත්, ඓතිහාසිකත්වය ආදී සියල්ල උකහාගෙන ඒ දුගී - දුප්පත් – අසරණ ජනතාව එකී උරුමයන් මත දෙපයින් නැඟී සිටුවන වැඩපිළිවෙළක් ඇතිකරන්න.
* නොබෝදා ඌව පළාත් සභාව දක්වාම ඒවායේ බලය ජනතාව යළිත් ආණ්ඩු පක්‍ෂයට ඉහළින්ම භාර දුන්නා. මධ්‍යම රජය හා පළාත් සභා අතර මනා සම්බන්ධයක් ඇතිවීමෙන් ඒ ඒ පළාත්වලට යහපතක් වෙන්නෙ මොන විදියට ද?
මධ්‍යම ආණ්ඩුඩව හා පළාත් ආණ්ඩුව අතර අන්තර් සම්බන්ධය ගොඩනැඟෙන්නෙ ආණ්ඩුකාරතුමාගෙන්. ආණ්ඩුකාරතුමා පළාත් සභාවක ක්‍රියාකරන්නේ මධ්‍ය ආණ්ඩුවේ, ජනාධිපතිතුමාගේ නියෝජිතයා හැටියට. යම් විදියකින් මධ්‍ය ආණ්ඩුවේ බලය එක් දේශපාලන පක්‍ෂයකත් පළාත් ආණ්ඩුව වෙනත් පක්‍ෂයකත් ක්‍රියාත්මක වුණොත් මේ දෙක අතර ගැටුමක් ඇති වෙනවා.
අද ජනාධිපතිතුමා විධායක ජනාධිපති ධුරය දරද්දි මධ්‍ය ආණ්ඩුව එතුමාගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට බලයේ සිටිනවා. පළාත් ආණ්ඩුවල බලයත් ඒ විදියටම තහවුරු වෙලා. ජනාධිපතිතුමා ගේ පටන් ප්‍රාදේශීය සභාව දක්වාම ක්‍රියාත්මක වෙන්නෙ එකම ජාතික ප්‍රතිපත්තියක්.
ඒ අතිශයින්ම ජනතාවට හිතකර “මහින්ද චින්තනය”. ඒ නිසා එකී පොදු ජාතික ප්‍රතිපත්තිය යටතේ ජනතාව ඒ ඉලක්කයන් කරා රැගෙන යාම පහසුයි. ගැටලු ඇත්නම් ක්‍රියාත්මකවීම තුළයි. බිම් මට්ටමේ ක්‍රියාත්මක වීමේදී පවතින යම් යම් අඩු ලුහුඬුකම් – දූෂණ – අක්‍රමිකතා ආදිය මඟ හරවාගත යුතුයි. මේ පළාත් සභාව තුළත්, මහින්ද චින්තන ප්‍රතිපත්තිය මීටත් වඩා සක්‍රියව ජනතා අභිලාෂයෙන් මුදුන් පත්වන පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. එසේ කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ත්, මධ්‍යම ආණඩුවේත් නියෝජිතයා ලෙස මම වගබලා ගන්නවා.
* ආණ්ඩුකාර ධුරය පිළිබඳ මේ දක්වා අත්දැකීම් ගත්තොත් ඊට පත්වෙන්නෙ වයෝවෘද්ධ – පරිණත චරිතයක්. නමුත්, මේ අවස්ථාව වෙනස්. තරුණ ආණ්ඩුකාරවරයෙක් හැටියට ඔබ මේ භූමිකාව තේරුම් කරන්නෙ කොහොමද?
සම්ප්‍රදායික සමාජයේ ආණ්ඩුකාරතුමා පිළිබඳ මතය නම් එතුමා ඉන්නෙ කොඩිය ඔසවන්නයි, පහන් පත්තුකරන්නයි, උත්සව අවස්ථාවක මුලසුන දරන්නයි කියලා. එතුමා සීතල කාමරයක, ටයි කෝට් ඇඳගෙන කැරකෙන පුටුවක ඉඳගෙන, ඉංගී‍්‍රසියෙන් කතා කරන – හැදි ගෑරුප්පුවෙන් කන චරිතයක් හැටියටයි ඔවුන් තේරුම් ගන්නෙ. එය සාමාන්‍ය ජනතාවට ලං වෙන්න බැරි චරිතයක් ලෙසයි සම්ප්‍රදායික සමාජය දකින්නෙ.
එය නාමික චරිතයක්. මේක මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා. ආණ්ඩුකාරතුමා පිළිබඳ අදහස මුලින්ම අපට එන්නෙ යටත් විජිත යුගයෙන්. ආණ්ඩුකාරතුමා කියනකොටම අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ බ්‍රවුන්රිග්, ටොරින්ටන්, ඔලිවර් ගුණතිලක වගේ ආණ්ඩුකාරවරු. කිරීටයේ ආණ්ඩුකාරවරු තමයි අපේ ජනතාව කාලයක් තිස්සේ දුටුවෙ. අර කියපු සම්ප්‍රදායික මතය එන්නෙත් එතැනින්.
නමුත්, පළාත් සභාවලින් ස්ථාපිත වෙන්නෙ එහෙම ආණ්ඩුකාරවරයෙක් නෙවෙයි. ජනතා අභිලාෂයන් සමඟ බද්ධ වන, මධ්‍ය ආණ්ඩුවේ ප්‍රතිපත්ති හරියාකාර ක්‍රියාවට නැංවේ දැයි සොයා බලන, මේවාට ක්‍රියාකාරීව මැදිහත් වන “ජනතා ආණ්ඩුකාරවරයෙක්” තමයි පළාත් සභා ක්‍රමය හරහා ඇති කෙරෙන්නේ.
පළාත් සභාවක සියලුම මුදල් බලතල තියෙන්නේ ආණ්ඩුකාරතුමා යටතේ. පළාත් රාජ්‍ය සෙවයේ සියලු පත්කිරීම් – මාරුකිරීම් – උසස් කිරීම් – විනය ක්‍රියාමාර්ග තියෙන්නෙත් එතුමා යටතේ. පළාත් සභාව කැඳවන්නේ – විසුරුවන්නේ – අමාත්‍ය මණ්ඩලය නම් කරන්නේ, මහ ඇමතිතුමා නම් කරන්නේ ආණ්ඩුකාර තුමා පළාත් සභාවක යම් යෝජනාවක් නීතියක් බවට පත් වෙන්නෙත් එතුමාගේ අනුමැතියෙන්.
පළාත් සභා පනත තුළ ආණ්ඩුකාරවරයකුට ඉතාම සුවිශේෂී බලයක් හා වගකීමක් හිමියි. නමුත්, බොහෝ අවස්ථාවල ප්‍රායෝගික වගකීම තුළ ආණ්ඩුකාර තුමා මේ බලතල ක්‍රියාත්මක කරල නැහැ. මේ නිසා ඒ භූමිකාව නිකම්ම කාමරයකට වුණ, පළාත් සභාව ගෙනෙන ඕනෑම දේකට අස්සන් කරන රබර් මුද්‍රාවක් බවට පත්වෙලා. ඒත්, මම ප්‍රායෝගිකව ඊට වඩා වෙනස් කෙනෙක්.
ජනාධිපතිතුමා මේ තනතුරට මාව පත්කරද්දි එතුමා මට පැහැදිලිව කිව්වෙ, ජානක මට අවශ්‍ය කරන්නෙ කාමරයකට වෙලා ඉන්න ආණ්ඩුකාර කෙනෙක් නෙවෙයි කියල. ඒ කියන්නෙ මම ජනතාව අතරට ගිහින් වැඩකරන ආණ්ඩුකාරවරයෙක්. පළාත් සභාව තුළ මම නියෝජනය කරන්නෙ ජනාධිපතිතුමා. එතුමා රෙදි බැනියම් අඳින - සිංහලෙන් කතා කරන – කුරහන් තලප කන සාමාන්‍ය ගැමියෙක්. මොනතරම් ආරක්‍ෂක පවුරු තිබුණත් ඒවාත් කඩාගෙන මිනිස්සු අතරට ගිහින් පිටට තට්ටු කරල අම්මේ – තාත්තේ කියල කතාකරන කෙනෙක්.
ඒ නිසා මමත් සබරගමුවේ දුෂ්කරම තැන්වලට, වාහනයෙන් යන්න බැරි පයින් යායුතු තැන්වලට පවා ගිහින් ඒ මිනිසුන් ගේ දුක - සැප හොයන්න සූදානම්. මම සබරගමුවෙ හැම රෝහලකටම – පාසලකටම – පන්සලකටම – වැඩබිමකටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒවයෙ තියෙන ප්‍රශ්නවලට පළාත් සභාව හරහා දිය යුතු විසඳුම් දෙන්න, පළාත් සභාව වැරැදි නම් ඒවා නිවැරැදි කරන්න, මගේ බලතල අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරන්නත් මම ලෑස්තියි.
මේ නිසා මගෙන් බිහිවෙන්නෙ ජනාධිපතිතුමා මට පෙන්වන ජනතා ආණ්ඩුකාරවරයා කියන භූමිකාවයි. ඒ ජනතා ආණ්ඩුකාරයාට සබරගමුවේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයක් දිවා - රෑ ඕනම වෙලාවක දැනුම් දෙන්නත් පුළුවන්. ඒ සඳහා එසැනින් ඇමතිය හැකි දුරකතන අංකයකුත් මම ලබා දෙනවා.
* ඔබට තිබෙන අත්දැකීම් ද එක්ක අපි ජාතික දේශපාලනය වෙතට යොමු වෙමු. දශක තුනක් තිස්සේ මව්බිම පීඩා විඳි ත්‍රස්තවාදයෙන් රට නිදහස් වී උදාවූ නව තත්ත්වය ගැන ඔබේ කියැවීම කෙබඳු ද?
අධිරාජ්‍යවාදීන් ජාතීන් බෙදා පාලනය කරන්න හදපු සැලසුම් – ඒවායෙදි සෙසු ජාතීන්ට දුන් වරප්‍රසාද ඒවා අහිමිවීම වගේ කාරණා තුළින් අපේ රටේ ත්‍රස්තවාදයක් ඉස්මතු වුණා. එහි මූලයන් අධිරාජ්‍යවාදී සැලසුම් දක්වා යනවා. මේවා පසුකර ඇවිත් අද 56’ ටත් වඩා ශක්තිමත් තත්ත්වයක් රටේ ඇතිවෙලා.
අද අපට ඉන්න නායකයා එංගලන්තය – අමෙරිකාව වගේ රටවල අභියෝගවලට යට නොවන නායකයෙක්. තමුන් ගේ වැඩක් බලාගෙන ඉන්නවා කියන්න තරම් කොන්ද කෙළින් තියාගත්ත නායකයෙක්. අපේ රටේ ජාතික ප්‍රශ්න ගැන තත්ත්ව තීන්දු ගන්න පුළුවන් නායකයෙක්. ලෝක බැංකුවේ හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හරි කිසි බලපෑමකට යට නොවන නායකයෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙදි සිංහලෙන් - දෙමළෙන් කතා කරන්න තරම් ආදීන වූ නායකයෙක්.
සියලු විදේශ තානාපතිවරු අරලියගහ මැදුරට කැඳවා මගේ කතාවේ පරිවර්තනයක් ඉංගී‍්‍රසියෙන් ලබාගන්න කියල සිංහලෙන් කතා කළ නායකයෙක්. බිල් ක්ලින්ටන් ට ලුණුමිරිසුයි – ආප්පයි කන්න දීපු නායකයෙක්. කොටින්ම සිංහලෙන් හිතල සිංහලෙන් වැඩකරන ගමෙන් මතුවුණ නායකයෙක්. කිසිදු බාහිර බලවේගයක් සත පහකට මායිම් නොකර යුද්ධය අපේ විදියට කරල ත්‍රස්තවාදය පරාජයකරන්න ඒ නායකත්වය සමත් වුණා.
ඉතිහාසයේ අපට අහිමි කළ රාජත්වය ගැන සිහි කරමින් ජනතාව, ජන සම්මත රජෙක් හැටියට ඒ නායකයාව අභිෂේක කළේ ඒ නිසා. මේ නායකත්වය යටතේ අධිරාජ්‍යවාදී වහල් චින්තනයෙන් මිදිලා නිවැරැදි ජාතික චින්තනයක් මත, අපට අහිමි වූ අපේ සමාජය ගොඩ නඟා ගන්න ලැබුණු විරළ අවස්ථාවක් ලෙස අපි මෙය දකිනවා.
* ශී‍්‍ර ලංකාවේ ඇතිවූ මේ වෙනස දිහා ලෝකයේ රටවල් බලන්නෙ කොහොම ද?
මම තානාපති හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය වකවානුවේ එහි පවා අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නය ගැන තිබුණේ අපිට හිතකර නොවන මතයක්. ලෝකයේ බොහෝ රටවල තානාපතිවරු වුණත් හමුවුණාම අපි දිහා බැලුවෙ චකිතයකින් - සැකයකින්. අපේ රටේ මිනිස්සු - ආණ්ඩුව ම්ලේච්ඡයි, සුළු ජාතීන්ට අසාධාරණයක් කරනවා කියන ආකල්පයත් ගොඩනැඟෙමින් තිබුණේ.
නමුත් ත්‍රස්තවාදය විනාශ කර, ඉන් බැට කෑ ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනතාව මුදාගත් පසු, ඔවුන්ට සලකන අයුරු දැකීමෙන් පසු එමීරයෙදී අපට හමුවූ හැම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම අත දීලා කිව්වෙ “ඔබේ නායකයා වීරයෙක්. දැන්රට ගොඩ නඟන්න අපි උදව් කරනවා කියලයි.”