
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) ළමයින් පිළිබද සිව්වැනි අමාත්‍ය සමුළුව අද සහ හෙට කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙයි.
1996 දී පාකිස්තානයේ දී පැවැති තුන්වැනි සමුළුවට වසර දහතුනකට පසු පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයේ ළමයින් සදහා සුවිශේෂ කාර්යභාරයක් පැවරි ඇති බව විශ්ලේෂකයෝ පවසති. තවද දකුණු ආසියානු කලාපීය ළමයින්ගේ ආරක්ෂාව හා සංවර්ධනය පිළිබදව සලකා බලන විට මෙවර සමුළුව සමස්ත සාර්ක් කලාපයටම බලාපොරොත්තු තැබිය හැකි එකක් වනු ඇත.
ළමයින් පිළිබද ප්‍රථම සමුළුව 1986 ඉන්දියාවේ නවදිල්ලියේ දී පැවැත් වූ අතර දෙවැනි සමුළුව 1992 දී කොළඹ දී පැවැත්විණි.
දකුණු ආසියානු කලාපයේ ළමයින්ගේ සුභසාධනය සහ ඔවුන්ගේ අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී කලාපයේ සියලු රටවල් ජයගත යුතු පොදු අභියෝගයක් ද වෙයි. ආදායම් බෙදී යාමේ විෂමතා, අසමානතා, ස්වාභාවික ආපදා මෙන්ම කලාපීය ගැටුම් ඒ අතර වෙයි.
දකුණු ආසියානු කලාපයේ මෑත ඉතිහාසය තුළ විශේෂයෙන් දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති කොටි ත්‍රස්තවාදය විසින් ශ්‍රී ලංකාවේ උතුරේ මෙන්ම නැගෙනහිරත් ප්‍රධාන කොට ගෙන සමස්ත රට පුරාම සකලවිධ ළමයින්ගේ කායික හා මානසික ස්වභාවයන් විකෘති තත්ත්වයකට පත් කර ඇත. සෑම ළමයෙක් තුළම යුධ මානසිකත්වය මෙන්ම එයින් ඔවුන් තුළ ස්ථාවර කරන ලද ගිනි අවි සමග ගිනිකෙළිවල අත්දැකීම් නිසා පෞරුෂයේ සිදු වී ඇති අවවර්ධනයන් ද අපගේ සැළකිල්ලට ගතයුතු කාලය එළැඹ තිබේ. මෙවැනි තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවල ළමයින්ගේ අභිවෘද්ධිය උදෙසා මේ සමුළුව බෙහෙවින් වැදගත් වනු ඇත.
ළමයින්ගේ සියලු අයිතීන් ආරක්ෂා කිරීම මෙන්ම ඔවුන්ගේ සියලු ගුණාත්මක වර්ධනයන් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) සමාජ ප්‍රඥප්තිය මගින් ද පිළිගෙන ඇති බැවින් ඒ සදහා කැප වී කටයුතු කිරීමට සංවිධානය නිරන්තරයෙන් සූදානමින් සිටි යුතු වෙයි.
තවද ළමයින්ගේ සුරක්ෂිත බව අයිතිවාසිකම් ආරක්ෂාකර දීම, සියලු ආකාරයේ අවදානම්වලින් ළමයින් මුදා ගැනීම, ළමා අපයෝජන හා ළමා ශ්‍රමය සූරාකෑමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීමද සැලකිල්ලට ගෙන ඇත. ළමයින්ගේ පෞරුෂය හා ඔවුන්ගේ සමාජ ජීවිතය නව නැම්මකට යොමු කළ හැකි පරිදි ළමයින්ගේ විභව ශක්තිය වැඩි දියුණු කිරීම සදහා සහාය වීම, ළමුන්ගේ සෞබ්‍යය මෙන්ම නිදහස රැකදීමට සහාය වීමත්, ඔවුන්ට අභිමානවත් ලෙස ජීවත් වීමට හැකි සමාජ පරිසරයක් නිර්මාණය කර දීමටත් සාර්ක් සංවිධානය ආරම්භයේ සිටම අවධානය යොමු කර ඇත.
සාර්ක් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂිල් කාන්ට් ෂර්මා මහතා මෙවර සමුළුව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පවසන්නේ 2005 දී ඩකා නුවර පැවැති සාර්ක් නායක සමුළුවේ දී ඉදිරි දශකය හා ඉන් ඔබ්බට කාන්තාවන් හා ළමයින්, විශේෂයෙන් ම ගැහැණු ළමයින් මුහුණ පාන්නා වූ බැරෑරුම් අභියෝගවලට පිළියම් යෙදීමට ක්‍රියා කිරීමේ ප්‍රතිඥාව යළි ස්ථිර කළ බවත් ය. එසේ ම ඔවුන් දුප්පත්කම හා අනෙකුත් සියලුම අහිමිකිරීම්වලින් නිදහස් කිරීමට පමණක් නොව, දකුණු ආසියාතික වර්ධනයේ සහ සංවර්ධනයේ කොටස්කරුවන් හා ප්‍රතිලාභීන් බවට පත් කිරීම පිණිස සාමාජික රටවල තිරසාර උත්සාහය ද අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම වැඩිහිටියන් වන අපගේ යුතුකමක් බවත් රටේ දරුවන් දැනුමෙන් සහ යහපත් ආකල්පවලින් පිරිපුන් වූ විට ජාතියක් ගොඩ නැගීම පහසු වන බවත් ය. තවද සෑම දරුවෙක් ම රටට වැඩදායී පුරවැසියකු කිරීම මෙන්ම ඔවුන් අනාගතයේ දී රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියෙහි නියුක්ත කරවීම ද ජාතික මානව සම්පත් සංවර්ධන කාර්යයේ වැදගත් කාරණයක් වන බවයි.
කලාපීය වශයෙන් මතු වී ඇති වැදගත් කම සාර්ක් මහලේකම් වරයා තේරුම් ගෙන ඇති ආකාරයත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තේරුම් ගෙන ඇති ආකාරයක් තුළ සාර්ක් කලාපයේ දරුවන්ට අනාගතය පිළිබදව වඩාත් විශ්වසනීයභාවයක් ඇති කර ගැනීමට පුළුවන් කම තිබේ. එය නිවැරදිව ඉටු කරදීමට ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් හා ඒවා ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නන් ගේ වගකීමක් ද විය යුතුව ඇත.