මෙරට රබර් සඳහා ලෝක වෙළෙඳපො‍ෙළ් ඉහළ මිලක්


ශ්‍රී ලංකාවේ රබර් සඳහා ලෝක වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

රුපියල් 125ක්ව පැවති ෂීට් රබර් කිලෝවක් සඳහා රුපියල් 225ක මිලක් ද කේප් රබර් කිලෝවක මිල රුපියල් 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුව රබර් සඳහා ඉහළ මිලක් වාර්තා කර තිබෙන පළමු අවස්ථාව මෙය බවත් ‍එය 80%කින් පමණ මිල ඉහළ යාමක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය දි. මු. ජයරත්න මහතා සඳහන් කරයි.

ඊයේ කොළඹ පැවති වෙන්දේසියක් සඳහා කේප් රබර් කිලෝ 97,375ක් ද ෂීට් රබර් කිලෝ 30565ක් ද ඉදිරිපත් කර තිබුණු බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව‍ පෙන්වා දෙයි.

මෙරට රබර් නිමි භාණ්ඩ හා අමු රබර් වශයෙන් අපනයනය කරන අතර පකිස්තානය සඳහා වැඩි වශයෙන් මෙම රබර් අපනයනය කරනු ලැබේ.

පසුගිය වසරේ රබර් අපනයන ආදායම රුපියල් බිලියන 76ක් වන අතර ඉදිරියේදී රබර්වලින් සැලකිය යුතු ආදායමක් මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ‍වැඩිදුරටත් ‍සඳහන් කරයි.