ජීව උණ්ඩ 20,900ක් හා අධිබල පුපුරන ද්‍රව්‍ය යොදා ත්‍රස්තවාදීන් විසින් නිෂ්පාදනය කරන ලද ‘අම්මාන්’ පීඩන බෝම්බ ඇතුළුව පුපුරන ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (12) දහවල් තොප්පිගල , නරකමුල්ල , ලැවනිආරුහිදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය අතර කිලෝ එකොළහයි ග්‍රෑම් 300 බැගින් බර ‘අම්මාන්‘ පීඩන බෝම්බ පහක් , කිලෝ පහළොව බැගින් බර ක්ලේමෝ බෝම්බ අටක් හා ටී-56 ජීව උණ්ඩ තොගයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පැවැසීය.
මඩකළපුව විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් අනුව මේවා සොයාගෙන තිබේ.
මේ පුපුරන ද්‍රව්‍ය තොගය ප්ලාස්ටික් බැරල් හතරක ඉතා සුරක්ෂිත අයුරින් අසුරා තෙතමනය නොවදින ලෙස ආවරණය කැර ලැවනිආරු ප්‍රදේශයේ වනගත ස්ථානයක වළදමා තිබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආර්. ඩබ්ලිව්. එම්. සී. රණවන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එස්. එම්. ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ පිරිසක් මේ පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගත්හ.
මේ අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී යුද හමුදාව පෙරේදා (11) සිදු කළ මෙහෙයුම් වලදී ටී 56 පතරොම් 1111 ක් එම්. පී. එම්. ජී. පතරොම් 1251 ක් ටී 56 අවි 15 ක් මිලිමීටර් 120 බෝම්බ 133 ක් ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගෙන තිබේ.
කාර්ය සාධක බළකා 8, 5 සහ 2 හි රණවිරුවන් විසින් මේ අවි සහ පතරොම් සොයාගෙන තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය.
ටී 56 පතරොම් පෙට්ටි 6 ක්, ආර්. පී. ජී. බෝම්බ 04 ක්, ටී 56 අවි 5 ක්, මැගසින් 20 ක්, 30 පතරොම් 500 ක්, මිලිමීටර් 60 මෝටාර් බෝම්බ 18 ක්, මිලිමීටර් 81 මෝටාර් බෝම්බ 08 ක්, පිස්තෝල 05 ක්, පිස්තෝල පතරොම් 05 ක්, පිස්තෝල මැගසින් 05 ක්, අයිකොම් සෙට් 03 ක්, මිලිමීටර් 60 මෝටාර් ලින්ක්ස් 04 ක්, අත්බෝම්බ 04 ක්, ජංගම දුරකථන 7 ක්, සහ එම බැටරි 06 ක් ඇතුළු ආයුධ සහ සන්නිවේදන උපකරණ ද සොයා ගෙන තිබේ.
යුද හමුදා විශේෂ බලකාය විසින් ටී 56 අවි 05 ක් සොයා ගෙන ඇත.