ශ්‍රී ලංකාව ලකුණු 52 කින් පරදවා පාකිස්තානය ජය ගනී

එංගලන්තයේ පසුගිය ජූනි මාසයේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කෙළේ වාසනා බල මහිමයෙන් නොවන බවට ඊයෙ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී යළිත් වතාවක් තහවුරු කළ පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7 ක් පන්දු 29 කදී ලකුණු 20 කට බිඳ දමමින් ඕවර විස්සයි/20 තරගය ලකුණු 52 කින් පහසුවෙන් ජයග්‍රහණය කෙළේය.







ශ්‍රී ලංකාව ලකුණු 52 කින් පරදවා පාකිස්තානය ජය ගනී

වර්නන් ගුණසේකර

එංගලන්තයේ පසුගිය ජූනි මාසයේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කෙළේ වාසනා බල මහිමයෙන් නොවන බවට ඊයෙ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී යළිත් වතාවක් තහවුරු කළ පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7 ක් පන්දු 29 කදී ලකුණු 20 කට බිඳ දමමින් ඕවර විස්සයි/20 තරගය ලකුණු 52 කින් පහසුවෙන් ජයග්‍රහණය කෙළේය.

ලකුණු 173 ක ජයග්‍රාහී ඉල්කක්යක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 18.1 ක් අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් නවීඩ් උල් හසන් ලකුණු 19 කට කඩුලු 3 ක්ද සයිඩ් අජ්මාල් ලකුණු 18 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූහ.

අර්ධ ශතකයක් ලබාගත් පාකිස්තාන නායක ෂහිඩ් අෆ්රිඩ් තරගයේ වීරයා විය.

මහේල උඩවත්ත හා සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 39 ක් ලකුණු පුවරුවට එක්කර තිබියදී දෙදෙනාම පන්දු දෙකක් ඇතුළත දැවී ගියහ.

හතරේ පහර 2 ක් සමග ලකුණු 11 ක් රැස්කළ උඩවත්ත නවීඩ් උල් හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කරමින් මුලින් දැවී ගිය අතර ජයසූරිය, මොහමඩ් ආමිර්ගේ පන්දුවකට උමාර් අක්මාල් අතට උඩ පන්දුවක් ලබාදෙමින් දැමී ගියේය. පන්දු 17 කට පමණක් මුහුණ දුන් ජයසූරිය ලකුණු 23 ක් ලබාගත් අතර ඊට හතරේ පහරක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව පළමු ඕවර 5 අවසානයේ කඩුලු 2 කට ලකුණු 41 ක් රැස්කර ගෙන සිටියේය.

මහේල ජයවර්ධනට පන්දු 13 කදී හයේ පහරක්ද සමග ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. රාළු ඉෆ්ටිකාර් එවූ පන්දුවකට අබ්දුල් රසාක් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර ඔහු කුමාර් සංගක්කාර සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සබඳතාවයකට දායක විය.

සංගක්කාර හා චාමර කපුගෙදර සිවුවැනි කඩුල්ලට ලකුණු 29 ක් රැස් කරමින් සිටියදී ෂයිඩ් අජ්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සංගක්කාර දැවී ගියේය.

පන්දු 31 ක් ඇතුළත හතරේ පහර 2 ක් හා හයේ පහරක් සමග සංගක්කාර ලකුණු 38 ක් රැස් කෙළේය. සංගක්කාරගේ දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු ලකුණු 20 කට බිඳ වැටිණි.

පාකිස්තානය පිට පිට තෙවැනි වතාවටත් ඊයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කෙළේය. එහෙත් තරගයේ ආරම්භක පන්දුවේදීම ඔවුන්ගේ කඩුල්ලක් බිඳ වැටිණි. නුවන් කුලසේකරගේ පළමු වේග පන්දුව කම්රාන් අක්මාල්ගේ පිත්ත පරදවා කෙළින්ම කඩුල්ලේ ගැටුනේය.

සොයිබ් මලික් පිටියට පිවිස අනෙක් ආරම්භක පිතිකරු ඉම්රාන් නසීර් හා එක්වූ අතර මේ දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 35 ක් එක් කරමින් සිටියදී සිවුවැනි ඕවරය යැවීම සඳහා කැඳවනු ලැබූ ලසිත් මාලිංග ඔහුගේ පස්වැනි පන්දුවෙන් මලික් දවාලුවේය.

ඔහු හතරේ පහර 3 ක් සමග ලකුණු 14ක් ලබා ගත්තේය. පාකිස්තාන ඉනිමේ පළමු ඕවර 5 අවසන් වනවිට ලකුණු 48කට කඩුලු 2 ක් බිඳ වැටී තිබිණි.

පළමු ඕවර 5 ඇතුලත ඕවරයකට ලකුණු 9 කට වැඩි වේගයක් රදවාගෙන ආ පාකිස්තානයේ එම වේගය ඕවර 10 අවසන් වන විට ලකුණු 7.5කට අඩු වී තිබිණි. ඒ අතරවාරයේ ඔවුන්ගේ තවත් කඩුල්ලක් ද බිඳ වැටී තිබිණි.

මුළු ලකුණු 76ක් ඔවුහු රැස්කර ගෙන සිටියහ. දැවී ගිය පිතිකරුවා වූයේ ඉම්රාන් නසීර් ය. පන්දු 28 කට මුහුණ දුන් ඔහු හතරේ පහර 5 ක් හා හයේපහරක්ද ඇතුළුව ලකුණු 40ක් රැස්කර ගෙන සිටියදී තිලාන් තුෂාරගේ පන්දුවකට ලෝන්ග් ඔෆ් හි ලසිත් මාලිංග අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

තරගයේ දෙවැනි ඕවරයේදීම නසීර් දවා ගැනීමට තිබූ අවස්ථාවක් මාලිංග අතින් ගිලිහිණි. ඒ වන විට නසීර් රැස්කර ගෙන සිටියේ ලකුණු 5 ක් පමණි. තුෂාරගේ පන්දුවකට ඔහු දුන් උඩ පන්දුවක් ‘මිඩ් ඕෆ්හි දී මාලිංග අතහැරියේය.

උමාර් අක්මාල් ලකුණු 30කට ඊළඟට දැවී ගියේය. ඔහු සහ ෂහිඩ් අෆ්රිඩි සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කළහ. ඕවර 15ක් අවසානයේ පාකිස්තානය කඩුලු 4 කට ලකුණු 125ක් රැස්කර ගෙන සිටියේය.

පාකිස්තාන කණ්ඩායමට ප්‍රථම වතාවට ඊයේ නායකත්වය දුන් ෂහිඩ් අෆ්රිඩ් පන්දු 35කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් සමග අර්ධ ශතකයක් වාර්තා කෙළේය. තුෂාරගේ පන්දුවකට ‘ලෝන්ග් ඔෆ්’ හි නුවන් කුලසේකර අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියේය.

අබ්දුල් රසාක් (නොදැවී 25) හා මිස්බා උල් හක් (නොදැවී 5) හයවැනි කඩුල්ලට ලකුණු 33 ක් එක් කළහ.අවසන් ඕවර පහේදී ලකුණු 47 ක් රැස් කළ පාකිස්තානය ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් වාර්තා කෙළේය.

සනත් ජයසූරිය යැවූ එකම ඕවරයේදී ප්‍රතිවාදීහු ලකුණු 9 ක් උදුරා ගත්හ. තිලාන් තුෂාර ලකුණු 37කට කඩුලු 2 ක් ලබා ගත්තේය.