තැන්පත්කරුවන් 400 දෙනකු පමණ පිරිසක් විසින් සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේඡ්මන්ට් සර්විස් සමාගමේ තැන්පත් කළ රුපියල් ලක්‍ෂ 700 ක පමණ මුදලක් හා ඊට අදාළ පොලිය නොගෙවා වංචා කළේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු පස්‌දෙනකු මෙම 24 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඊයේ (10 වැනිදා) නියෝග කළේය.
එලෙස රක්‍ෂිත භාරයට පත් කරනු ලැබුයේ එම සමාගමේ සභාපති ලලිත් කොතලාවල සහ අධ්‍යක්‍ෂවරුන් වන එච්. කේ. ද සිල්වා, ආර්. විඡේතුංග, පී. කේ. කරුණානායක සහ ඒ. ඩී. ජෙගසෝදී යන සැකකරුවන් පිරිසය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්. එස්. රත්නායක මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් එම සැකකරුවන් පස්‌දෙනා ඇතුළු සැකකරුවන් 11 දෙනකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබිණි.
තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා අදාළ මූල්‍ය සමාගමේ නියෝජිතයන්ගේ එකඟතාව අනුව සකස් කරන ලද ක්‍රමවේදය සහිත ලියෑවිල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
රක්‍ෂිත භාරයේ සිටින සැකකරුවන් පස්‌දෙනා හමුවී තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට මේ වන විට ඇප මත මුදාහැර සිටින එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන්ට හා ලේකම්වරුන්ට බන්ධනාගාරය තුළදී අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද මහෙස්‌ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට එහිදී වැඩිදුරටත් නියෝග කළේය.