උත්තරා හරහා රිදී තිරයට පැමිණෙන පුංචි සුරංගනාවී හෂිනි ගෝනගල කියයි
සොඳුරු සිනමා තාරකා අඹරේ අනාගත තරු රෑන අතර සෙනෙහසින් විකසිත වන්නට පෙරුම් පුරනා මේ පුංචි තරු කැකුලිය ගැන දැනටමත් ඔබ දන්නවා ඇති.
යොවුන් වසන්තයේ සැබෑම චමත්කාරයත් රැගෙන මේ බාල බොළඳිය තව නොබෝ දිනකින් රිදී තිරය මතින් අපේ සිත් නෙත් පහන් කරන්නට සූදානම්.
සිංහල සිනමාවේ අලුත්ම කතා නායිකාව වී ඈ එසේ අප හමු වන්නේ සඳුන් රාජකරුණා හා හා පුරා අධ්‍යක්ෂණය කළ ‘උත්තරා’ චිත්‍රපටයේ උත්තරා ගේ චරිතයට පණ පොවමින්.
රිදී තිරයේ උත්තරා වූ ඒ ආදරණීය රුවැත්තිය හෂිනි ගෝනගල සමඟයි මේ කතාබහ.
ඉතින් හෂිනි, කොහොමද ‘උත්තරා’?
ඇත්තටම මගේ සිහිනය ‘උත්තරා’. ඒ සිහිනය මගේ ඇස් ඉදිරිපිටම සැබෑවක් වෙන්නේ චිත්‍රපටය තිරගත වෙන දවසට. උත්තරා මගේ කුලුඳුල් රඟපෑම් ඇතුළත් චිත්‍රපටය. ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන නිළි චරිතය රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.
ඔයා තාම උත්තරා බැලුවේ නැහැ?
නැහැ. තාම මම දැක්කේ ට්‍රේලර් එක විතරයි. සප්‍රයිස් එකක් හැටියටයි මම ඒක තියාගෙන ඉන්නේ. ෆිල්ම් එක රිලීස් වෙන දවසටම බලනවා.
කවුද මේ උත්තරා?
ඈ මේ රටේ ප්‍රබල දේශපාලනඥයකුගේ දියණියක්. ඒත් පියාගේ බලපුළුවන්කාරකම් උත්තරා මායිම් කරන්නේ නැහැ. එයා හරිම අහිංසක ඒ වගේ කෙළින් වැඩ කරන කෙනෙක්. උත්තරා ආදරය කරන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක් හා නළුවෙක් වන ශනිල්ක මල්මුතුවත්ත කියන තරුණයාට.
මේ ප්‍රේමයට පියාගෙන් දැඩි විරෝධයක් එල්ල වෙනවා. ඒ ගැටුම් මැද තමයි උත්තරාගේත්, ශනිල්කගේත් ආදර කතාව ගලාගෙන යන්නේ. ශනිල්ක ඒ කියන්නේ මගේ පෙම්වතා හැටියට රඟපාන්නේ සුරාජ් මාපා. ඇත්තටම සුරාජ් අයියා තමයි අධ්‍යක්ෂක සඳුන් රාජකරුණාට මාව හඳුන්වා දුන්නේ. ප්‍රවීණ නළු නිළි යුවළක් වූ සනත් ගුණතිලක හා රෙබෙකා නිර්මලී මගේ මවුපියන් හැටියට රඟපානවා.
හෂිනිට දැන් වයස කීයද?
තවම දාහතයි. මම ඉපදුණේ 1992 දී.
ආදරය ගැන සැබෑ ජීවිතේදී ඔයාට අත්දැකීම් නැහැනේ?
අපෝ තාම නැහැ.
‘උත්තරා’ අපේ සිනමාවේ අලුත්ම පෙම්වතිය. ඔයා මේ චරිතය හරි අපූරුවට රඟපෑවා කියලා අපට ආරංචි වුණා?
ලව් සීන්ස් කරද්දී සුරාජ් අයියා තමයි මේ විදිහට කරන්න කියලා මාව දිරිමත් කළේ. අධ්‍යක්ෂවරයාගෙනුත් මට ගොඩක් උදවු ලැබුණා මේ චරිතය ගොඩ නඟා ගන්න. ඇත්තටම සඳුන් අයියා මා ගැන විශ්වාසය තියලා මාව ප්‍රධාන චරිතයට තෝරා ගත්තු එක ගැන මම ඔහුට හදවතින්ම ස්තූති කරනවා. ඒ වගේම නිෂ්පාදිකා වජිරා රාජපක්ෂ මහත්මියටත්. මේ සේරගේම සහයෝගයෙන් මම හිතනවා මම මේ චරිතය හොඳට කළා කියලා.
ඔයා මුලින් රඟපෑවේ උත්තරා චිත්‍රපටයේ වුණාට තිරගත වුණේ ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටය?
ඔව්, ‘ඩාන්සින් ස්ටාර්’ මම දෙවැනියාට රඟපෑ චිත්‍රපටය. ඒත් ඒක කලින් රිලීස් වුණා. මම ඒකෙ රඟපෑවේ ඩාන්සින් ටීචර් කෙනෙක් විදිහට. ඒක නපුරු චරිතයක්. ෆිල්ම් එක බලපු ගොඩ දෙනෙක් ඇහුවා මමත් ඇත්තටම ඒ වගේ නපුරු ද කියලා. ඉතින් මම ගොඩක් අප්සෙට් එකේ හිටියේ. එතකොට අම්මලා කිව්වා ‘ඔයා හොඳට ඒ චරිතය කරපු නිසා තමයි ප්‍රේක්ෂකයෝ ඒ විදිහට කියන්නේ’ කියලා. ඇත්තටම ඒ චරිතයත් මම හොඳට කළා කියලා හිතෙනවා.
එතකොට හෂිනි ඇත්තටම නපුරු කෙනෙක් නෙවෙයි?
ඇත්තටම නැහැ. මම ගොඩක් අහිංසකයි. මම ගැන දන්න හැමෝම කියන්නේ ඒ විදිහට. අර මම ශිරෝෂි අක්කට බනින තැන්වලදී මුලින් මට හිනා ගියා. ඒ දර්ශන කීප වතාවක්ම රූගත කරන්නත් සිදු වුණා.
ඒ චිත්‍රපටය තිරගත වුණාට පසු තවත් ඒවාට ආරාධනා ලැබුණේ නැද්ද?
ෆිල්ම්ස්වලට නම් කතා කළේ නැහැ. ඒත් ටෙලි නාට්‍යවලට ගොඩක් ආරාධනා ලැබුණා. ඒ වුණාට මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැනේ.
ඇයි?
නෑ, ටී. වී එකේ මාව නිතරම දැක්කොත් ප්‍රේක්ෂකයින්ට මාව ඉක්මනටම එපා වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසයි මම ටෙලි ඩ්‍රාමාස්වල රඟපාන්නේ නැහැයි කියන තීරණයේ ඉන්නේ.
හැමදාටමද?
හැමදාටම නොවෙන්නත් පුළුවන්. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණෝතින් මම රඟපාවී. ඒත් ස්ටෝරි එක මොකක්ද, ඇක්ටර් කවුද කියලා බලලා තමයි ඒක ඩිසයිඩ් කරන්නේ.
ඒ කියන්නේ කවුද නළුවා කියලත් විශේෂයෙන් බලනවා?
මට ගැළපෙන කෙනෙක් එක්ක විතරයි මම රඟපාන්නේ. ‘ඩාන්සින් ස්ටාර්’ වලට පස්සේ මටයි දුෂ්ටයි ගොඩක් චරිත ලැබෙයි කියලා හිතුණා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ගොඩක් වෙලාවට මම ඉදිරියේදී දුෂ්‍යන්ත එක්කම විතරක් රඟපායිද කියන්නත් බැහැ. දැනට නම් මම හිතාගෙන ඉන්නේ එහෙම.
එහෙම වුණොත් ඒක ඔයාගේ ඉදිරි ගමනට බාධාවක් නෙවේද?
මම ගොඩක් කැමැති ඩාන්සින් වලට. රංගනය මගේ විනෝදාංශයක් විතරයි. ඒ නිසා මට ගැළපෙන කෙනෙක් එක්ක විතරයි මම රඟපාන්නේ.
‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ ඔයාගේ මව සහ පියා ලෙස රඟපෑවේ අපේ සිනමාවේ ප්‍රවීණතම නළු නිළි යුවළක්. එයාලගෙන් ලැබුණ සහය කොයි වගේද?
මගේ මව විදිහට රඟපෑවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. පියා රවීන්ද්‍ර රන්දෙණිය. ඇත්තටම මම හරිම ලකී. මාලනී ඇන්ටි, රවි අංකල් මට සැලකුවේ එයාලගෙම දුවෙක් වගේ. ඒ අය හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ, වචන උච්චාරණය බලාගෙන ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයාලත් මට යම් යම් දේ කියලා දුන්නා.
ඔයාගේ වැඩි කැමැත්ත නර්තනයට කිව්වා?
ඔව්, මම තවම චන්න සර්ගෙන් සහ උපුලී මිස්ගෙන් උඩරට සහ පහත රට නර්තනය හදාරනවා. ඒ වගේම මම බැලේ, හිපොප් ඩාන්සින්වලටත් හරිම කැමැතියි. මේ නර්තන සම්ප්‍රදායන් සියල්ලම එකතු කරලා ඉදිරියේදී මගේම නර්තන ශෛලියක් ගොඩ නගා ගන්නයි මගේ බලාපොරොත්තුව. ඒක අපේ රටට විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයටත් ගැළපෙන විදිහට තමයි මම නිර්මාණය කරන්නේ.
ඔයා කැමැතිම නර්තන ශිල්පිනියන් කවුද?
හොලිවුඩ්වල නම් මම කැමැති ජෙනිෆර් ලෝස්ට. බොලිවුඩ් වලින් සායිඩ් කපූර්ට ආසයි. මේ දෙන්නා තමයි මගේ ප්‍රියතම නර්තන ශිල්පිනියන්.
මෑතකදී සිංහල චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය වුණා. ඔයා ඒවා බැලුවාද?
‘පායා එන්න හිරු සේ’, ‘ජූලියා’ චිත්‍රපට මම නැරඹුවා. තාම මට වයස අවුරුදු දාහතක් නිසා ‘එකමත් එක රටෙක’ නම් බලන්න ලැබුණේ නැහැ. මෑතකදී අපේ සිනමාවට එක් වූ උදාරිත්, ජූලියා චිත්‍රපටයේ නදීෂා අක්කත් හරිම ලස්සනට ඒ චරිත රඟපාලා තියෙනවා. නිරෝෂා අක්කාත් හොඳට රඟපාන්න ඇති ‘එකමත් එක රටෙක’ චිත්‍රපටයේ. එයාට හොඳට රඟපාන්න පුළුවන් කියලා මම දන්නවා.
ඒ කොහොමද?
අපි ‘ඩාන්සින් ස්ටාර්’ තරගාවලියට සම්බන්ධ වෙලා ඉන්න කාලේ එයා ඉදිරිපත් කරපු යම් යම් අංගවලින් ඒ හැකියාව මම දැක්කා. ඒ නිසයි මම එහෙම කිව්වේ.
අපේ සිනමාවේ මේ අලුත් නිළි පරම්පරාවේ ලාබාලතම නිළිය ඔයා. කවුද මේ අය අතරින් වඩාත්ම දක්ෂ?
ඔක්කොමලා දක්ෂයි. මේ වගේ දක්ෂ නිළියෝ ඉන්නවා කියන්නේ අපේ සිනමාවට ලොකු වාසනාවක්. මම පොඩි නිසා එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
නිළියන්ට සාපේක්ෂව නළුවෝ බිහි වෙනවා අඩුයි නේද?
ටැලන්ට් එක තියෙන බෝයිස්ලා ගොඩක් ඉන්නවා. මම හිතන්නේ එයාලා බය ඇති කැමරාව ඉදිරියේ රඟපාන්න.
අනෝජා ඇන්ටිගේ වර්ක් ෂොප් එකේ දී එහෙම දක්ෂ ළමයි ගොඩක් මම දැක්කා. ඒ වෙලාවේ මට හිතුණා ඇයි එයාලා ඇක්ට් කරන්නේ නැත්තේ කියලා. ‘ඩාන්සින් ස්ටාර්’ වගේ තරගයක් තිබ්බොත් මම හිතන්නේ අපිට ඇති වෙන්න නළුවෝ හොයා ගන්න පුළුවන් වෙයි.
හෂිනි නර්තනයට, රංගනනයට එක වගේ ම දක්ෂයි. ඔයාට සිංදු කියන්නත් පුළුවන් ඇති?
සිංදු කියන්න නම් මට බෑ. ඒත් මම උත්සාහ කරනවා. මම ගොඩක් රස විඳින්නේ වෙස්ටන් මියුසික්. මයිකල් ජැක්සන් සහ සෙලින් ඩියොන් තමයි මගේ ප්‍රියතම ගායක ගායිකාවන්. ඒ වගේම හිපොප් සහ හින්දි ගීතවලටත් මම ගොඩක් ආසයි. ඇත්තටම සිංහල සිංදු අහන්න මම පටන් ගත්තේ මේ ළඟදී ඉඳන්.
සිරස ටී. වී එකේ දවල් 1.30 ට විකාශය වෙන සිංහල චිත්‍රපට මම ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම බලනවා. ඒවයෙ තියෙන සිංදුවලට මම හරි කැමැතියි. මොහිදීන් බෙග් ගායනා කළ ‘නාරිලතා පුෂ්පේ’ සහ ජෝතිපාල, ඇන්ජලින් ගයන ‘හද විමන් දොරින්’ ගීත දෙකටම මම එක වගේ කැමැතියි.
මෝස්තර නිරූපණය, අත්කම් නිර්මාණය වගේ දේවල්වලටත් හෂිනි දක්ෂයි?
ඒ පැත්තෙනුත් දක්ෂතා තියෙනවා. මගේ ඇඳුම් මමමයි ඩිසයින් කර ගන්නේ. සාමාන්‍ය ගමන් බිමන්වලට මේකප් දාගන්නෙත් මමමයි. ලොකු පන්ක්ෂන්ස්වලට යද්දී නම් චන්දිමාල් තමයි මාව හැඩ ගන්වන්නේ.
අනාගතයේදී ඔයා වෘත්තීය හැටියට තෝරා ගන්නේ රංගනය ද නැත්නම් මෝස්තර නිරූපණ කලාවද? එහෙමත් නැතිනම් නර්තනයද?
ඔය ෙස්රම දේවල්වලට වඩා මම වෘත්තියක් හැටියට අනාගතයේදී තාත්තගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙයි. ඒත් ඉඩ ලැබෙන විදිහට අනෙක් ඒවත් කරගෙන යනවා. දැනටමත් මම ඩාන්සින් නම් උගන්වනවා.
කියන්නකෝ බලන්න ඒ ගැනත් විස්තර ටිකක්?
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සෑම ඉරිදාවකම සවස 3.00 සිට 5.00 දක්වා දුෂ්‍යන්තයි, මමයි නර්තන පාසලක් පවත්වාගෙන යනවා. දැනට ළමයි හතළිහක් විතර ඉන්නවා.
එතකොට ඔයා ‘ඩාන්සින් ස්ටාර්’ චිත්‍රපටයේ වගේ දැන් ඩාන්සින් ටීචර් කෙනෙක්?
ඔව්, හැබැයි චිත්‍රපටයේ වගේ මම නපුරු නැහැ. හරි ආදරෙන් තමයි ගෝලයන්ට හැම දේම කියලා දෙන්නේ. ඇත්තටම මම හරිම ආසයි ඩාන්සින් මූවි එකක ආයේ රඟපාන්න. එතකොට මගේම ස්ටයිල් එකකට මට ඒක කරන්න පුළුවන්කම තියේවි.
මොකක්ද එතකොට මේ හෂිනි, දුෂ්‍යන්තත් එක්ක එකතු වෙලා මේ කරන්න හදන අලුත් වැඩේ?
ආ ඒක කියන්නමයි හිටියේ ‘බෙස්ට් ඔෆ් දුෂ්‍යන්ත්’ ඇල්බම් එක අවුට් වෙනදා ඒ කියන්නේ අගෝස්තු 29 වැනිදා සාන්ත ජෝසප් විදුහලේ ‘කරලිය’ කියලා ප්‍රසංගයක් පැවැත් වෙනවා. එදාට මමත් දුෂ්‍යන්ත එක්ක ඩාන්ස් කරනවා.
ඒක නෙවෙයි ඇත්තද හෂිනිට පාටීස්වලට ගියාම ගොඩක් අයගෙන් නටන්න ආරාධනා ලැබෙනවා කියන්නේ?
ගොඩක් පාටීස්වලදී මුලින්ම නටන්න ආරාධනා ලැබෙන්නේ මට. මුලදී නම් මට ගොඩක් ලැජ්ජා හිතුණා. ඉතින් දැන් මම තමයි වැඩේ පටන් ගන්නේ.
ඩාන්ස් කරලා අනෙක් අය අතරේ කැපී පෙනෙන්න ඔයා ආසයි කියන්නේ ඇත්තද?
එහෙම ආසාවක් මට නැහැ. ඒත් ඉතින් මම නටද්දී ගොඩක් කැපිලා පේනවා කියලා නම් හැමෝම කියනවා.
අඬගහන හැමෝම එක්කම නටනවද?
මම පාටීස්වලට යන්නේ අම්මයි, තාත්තයි එක්ක. කොච්චර ආරාධනා ලැබුණත් මම ඩාන්ස් කරන්න යන්නේ අපේ ෆැමිලි මෙම්බ(ර්)ස්ලාත් එක්ක විතරයි.
සමහරු කියනවා සිනමාව බොහොම කැපිලි, කෙටිලි තියෙන තැනක් කියා. ඒත් තව කෙනෙකුට සිනමාව අතිශය සුන්දර තැනක්. හෂිනිට මොන වගේ හැඟීමක්ද අපේ සිනමා ක්ෂේත්‍රය ගැන තියෙන්නේ?
ඉදිරියට යන්න පුළුවන් තැනක්. ඇත්තම කිව්වොත් මට නම් කාගෙන්වත් ඔය කැපිලි කෙටිලි ආවේ නැහැ. හැහෝම මට ආදරෙයි. මමත් එයාලට ආදරෙයි. සහෝදර සහෝදරියෝ වගේ අපි එකිනෙකා ඇසුරු කරන්නේ.