ඌව පළාතේ වැඩි මනාප ශෂීන්ද්‍ර රාජපක්ෂට

අගෝ: 09 - ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාය.

රාජපක්ෂ මහතා මනාප එක් ලක්ෂ තිස් හය දහස් හයසිය අනූ හතක් ලබා ගෙන ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අනුර රවීන්ද්‍ර විද්‍රානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වැඩි ම මනාප සංඛ්‍යාව හිමි කරගෙන තිබේ.

ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 51 309කි.

දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගෙන සිටින්නේ, මනාප ඡන්ද 43 913ක් හිමි කරගත් ඒ.එම්. බුද්ධදාස මහතාය.

තුන් වන ස්ථානය මනාප ඡන්ද 36 204ක් හිමි කරගත් රෝහණ පුෂ්පකුමාර මහතාට හිමිවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප හිමි සෙයිඩ් හරීන් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 36 996කි.

මනාප 24 739ක් හිමි කර ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, උපාලි ඩෙල්ටන් සමරවීර මහතාය.

තෙවන ස්ථානය හිමිකර ගත් සුනිල් ජයන්ත කන්නංගර මහතාට හිමි වී ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 20 328කි.

මීට අමතරව ඌව පළාත් සභාව නියෝජනය කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් කඳුරට ජනතා පෙරමුණට හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධූරය බැගින් හිමි වී තිබේ.

ඒ සඳහා කඳුරට ජනතා පෙරමුණෙන් තේරී පත්වී ඇත්තේ, අරවින්ද කුමාර් මහතා වන අතර ජනතා විමුක්ති පෙරමුණෙන් සුදත් බලගල්ල මහතා පත් වී තිබේ.