ක්‍රීඩා පුවත්

පාකිස්තානයට ලකුණු 132ක ජයක් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මොහමඩ් ආමිර් හා නවීඩ් උල් හසන් යන ප්‍රභාරාත්මක පාකිස්තාන වේග පන්දු අභියෝගයට සාර්ථකව මුහුණදීමට අපොහාසත් වූ ශ්‍රී ලංකාව ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 132 ක පරාජයක් ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තරග 3-2 ක තරගමාලා ජය හිමි විය.ලකුණු 280 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 34.2 ක් අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.

තෙවැනි කඩුල්ල ලෙසින් ශ්‍රී ලංකා නායකයා දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම ගරා වැටෙන්නට විය. කඩුලු 6ක් ලකුණු 20කට බිඳ වැටිණි.

තිළිණ කණ්ඩම්බි හා මාලිංග බණ්ඩාර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සබදතාවයක් ගොඩනැගූවද ශ්‍රී ලංකාවට පරාජයේ අගාධයෙන් ගොඩඒමට එය ප්‍රමාණවත් නොවීය. කණ්ඩම්බි ලකුණු 42 ක් ලබාගත් අතර බණ්ඩාර ලකුණු 31 ක් රැස් කෙළේය.

ආමිර් ලකුණු 28 කට කඩුලු 4 ක්ද උල් හසන් ලකුණු 44 කට කඩුලු 4 ක්ද ලබා ගත්හ.

මේ තරගාවලියේ වීරයා සම්මානය තිළාන් තුෂාරට හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට උපුල් තරංග හා සනත් ජයසූරිය ආරම්භක පිතිකරු යුගලය ඊයේ අසමත් වූහ. තරංග ලකුණු නොලබාම දැවී ගිය අතර ජයසූරියට ලබාගත හැකි වූයේ ලකුණු හයක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පන්දුවේදීම තරංග පළමු “ස්ලිප්” හි උමාර් අක්මාල් අතට උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. පන්දු යවන්නා වූයේ මොහමඩ් ආමීර්ය.

ආමිර්

ඊට ඕවර 2 කට පසුව නවීඩ් උල් හසන් වේගය අඩුකර එවූ පන්දුවකට ජයසූරියගේ පිති පහරින් ඉහළ නැගී පන්දුව තෙවැනි “ස්ලිප්”හි සිට ඉදිරියට දුව ඇවිත් මිස්බා උල් හක් රැක ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කඩුලු 2 ක් ලකුණු 19 කට බිඳ වැටිණි.

නායක කුමාර සංගක්කාර හා හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩාලෝලීන් තුළ යහපත් බලාපොරොත්තු ඇති කරවමින් ආක්‍රමණශීලී පිති හරඹයක නියැළුනද එම සබඳතාවයට එතරම් ආයුෂ නොතිබිණි.

පන්දු 38 කින් ඔවුන් ලකුණු 35 ක් එක් කරමින් සිටියදී සංගක්කාර දැවී ගියේය. එම කඩුල්ල ලබා ගත්තේද නවීඩ් උල් හසන්ය. උඩ පන්දුව රැක ගත්තේ ෂහිඩ් අෆ්රිඩ් ය. හතරේ පහර 3 ක්ද එල්ල කළ සංගක්කාර අවසානයේ ලබා ගත්තේ ලකුණු 16 ක් පමණි.

ඕවර 13 ක් අවසානයේ ශ්‍රී ලංකා කඩුලු 5 ක් මුළු ලකුණු 59 කට බිඳ වැටී තිබූ අතර තරගය නරඹන්නට පොර කකා පැමිණි ක්‍රීඩාලෝලීහු මේ වන විට ක්‍රීඩාංගණයෙන් පිටව යාමට ඒ අයුරින්ම පොරකනු දිස්විණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර 15 අවසන් වන විට කඩුලු හයක් ලකුණු 69 කට බිඳ වැටී තිබිණි. ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 5 කට ඒ වන විට දැවී ගොස් සිටි අතර ඊට පසු ඕවර 3 ඇතුළත තවත් කඩුලු 2 ක් ලකුණු 5 කට බිඳ වැටිණි.

පසුගිය සිකුරාදා සිවුවැනි තරගය ජය ගත් කණ්ඩායම ම ඊයේ පස්වැනි හා අවසාන තරගය සඳහා ද පාකිස්තානය නම් කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා පිළ වෙනස් කම් තුනක් සිදුකොට තිබිණි.

තිලාන් සමරවීර , තිලාන් තුෂාර හා ලසිත් මාලිංග ඊයේ කණ්ඩායමට ඇතුළත් කර නොතිබූ අතර ඒ වෙනුවට සනත් ජයසුරිය, නුවන් කුලසේකර හා ධම්මික ප්‍රසාද් ඊයේ තරග බිමට පිවිසියේ මෙවර තරගමාලාවේ ප්‍රථම වතාවටය. මේ තරගමාලාව සඳහා නම් කරන ලද මුල්ම සංචිතයේ ඔහු ඇතුළත්ව නොසිටියේය.

ඊයේ තරගයේ ද කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය ජයග්‍රාහී පෙර තරගයේ මෙන්ම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කෙළේය. එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවූ පරිදි තරගයේ ආරම්භක පන්දුවෙන්ම පාකිස්තානයට කඩුල්ලක් අහිමි විය.

නුවන් කුලසේකර යැවූ ඒ ප්‍රථම පන්දුව කම්රාන් අක්මාල් ගේ පිත්තේ ඇතුළත ධාරයේ වැදී කඩුලු රකින්නා පරදවා හතරේ සීමාව වෙතට ගියේ ය. පන්දුව පාආවරණයේ වැදුනේම නැත. එහෙත් තරග විනිසුරු ගාමිණී සිල්වා එය කඩුල්ල මුවා කිරීමක් ලෙසට තීරණය කෙළේය.

ම්රාන් නසීර් හා නායක යූනුස් ඛාන් එක්ව පාකිස්තාන මුළු ලකුණු ප්‍රමාණය 45 දක්වා ඉහළ නංවමින් සිටියදී අජන්ත මෙන්ඩිස් ඔහුගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවෙන් එම සබඳතාව බිඳ දැමුවේය.

එම කඩුල්ලද පාකිස්තානයට අහිමි වුයේ කඩුල්ල මුවා කිරීමේ වරදිනි. දැවී ගියේ ඉම්රාන් නසීර්ය. ඔහු පන්දු 23 කදී හතරේ පහර හයක් ද සමගින් ලකුණු 35 ක් රැස් කළේය. දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ 8 වැනි ඕවරයේ දීය.

පෙර තරගයේ නොදැවී ලකුණු 102 ක් රැස් කළ උමාර් අක්මාල් ඊයේ ලබා ගත හැකි වූයේ ලකුණු හයක් පමණි. පාකිස්තානය පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ෂහිඩ් අෆ්රිඩි ද ඊයේ අසාර්ථක වෙමින් ලකුණු 05 කට දැවී ගියේ ය. අෆ්රීඩි දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවකට කඩුලු රකින කුමාර් සංගක්කාරගේ් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. එය සංගක්කාර ජාත්‍යන්තර එක් දින තරගවල කඩුල්ලක් දවා ගැනීමට දායක වූ 300 වැනි අවස්ථාවක විය.

මිස්ඩා උල් හක් හා රනා නවීඩ් උල් හසන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 60 ක් එක් කළහ. නවීඩ් ලකුණු 34 කට දැවී ගිය අතර මිස්බා උල් හක් නොදැවී ලකුණු 73 ක් වාර්තා කෙළේය. පන්දු 82 කට මුහුණ දුන් කුල් හක් හතරේ පහර 5 ක්ද එල්ල කෙළේය. නවීඩ් හතරේ පහරක් හා හයේ පහර 2 ක් එල්ල කෙළේය.

පාකිස්තානය අවසන් ඕවර පහ ඇතුළත ලකුණු 46 ක් ලකුණු පුවරුවට එක් කර ගත් අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 279 ක් වාර්තා කෙළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වු නුවන් කුලසේකර ලකුණු 46 කට කඩුලු 3 ක් ලබා ගත්තේය.